කිසිදු හේතුවක් නොමැතිව මහා පරිමාණ මෝල් හිමියන්ට සහල් මිල ඉහළ දමා ගැනීමට හැකිවන්නේ රජය යටතේ ක්‍රියාත්මක වූ ශක්ති සහල් ව්‍යාපෘතිය නවතා දැමීම නිසා බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමය සඳහන් කරයි.

කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් දෙසීයකට අධික ප්‍රමාණයක් ඒකාබද්ධ කරගනිමින් පසුගිය ආණ්ඩුව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් අමාත්‍යාංශය හරහා ශක්ති සහල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවද එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා සදහන් කළේය.  මෙම ව්‍යාපෘතිය
යටතේ සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීම රජයේ අධීක්ෂණය යටතේ සිදු වූ බවත්, මේ නිසා සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් අසුවක්, රතු සහල් කිලෝවක තොග මිල රුපියල් හැත්තෑවක් හා නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 77.75ක් වූ බවත් ඔහු කීය.

මෙම ක්‍රමය නිසා නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් අසූවක් වූ බවත්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් අසූපහක් හා රතු සහල් කිලෝවක මිල රුපියල් අසූවට අඩු  වු බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ශක්ති සහල් ව්‍යාපෘතිය යටතේ සතොස හරහා සහල් බෙදාහැරීම සිදුකළ බවත්, මේ නිසා රජයේ සහතික මිලට ඉහළින් කිසිදු ව්‍යාපාරිකයෙකුට සහල් අලෙවි කිරීමට නොහැකි වූ බවත් හෙතෙම කියා සිටියේය.  එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ ශක්ති සහල් ව්‍යාපෘතිය නවතා දැමූ බවත්, මේ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්වලට රජය මිලදී ගත් වී තොග ලබාදීම නැවතී ගිය බවත් මුදිත පෙරේරා මහතා සදහන් කළේය.

සාධාරණ මිලකට සහල් ලබාදීමට නම් ශක්ති සහල් ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත්, එසේ නොමැති වුවහොත් සහල් මිල ඉහළ යෑම වළක්වාගැනීමට නොහැකි වන බවත් හෙතෙම පවසා සිටියේය.
 - එච්.අයි. තුෂාර-