හිටපු කැබිනට් අමාත්‍ය මංගල සමරවීර සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ට ලබන
මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා නොදීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ඉහළ මට්ටමේ විශේෂ සාකච්ඡාවේදී තීරණය වී ඇත.

මංගල සමරවීර සහ රන්ජන් රාමනායක යන

මහත්වරුන්ගේ ප්‍රකාශ සහ ක්‍රියාකලාපය පසුගිය ජනාධිපතිවරණයේදි එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිංහල බෞද්ධ ඡන්ද අහිමිවීමට ඍජුවම බලපෑ බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැක්වූ ප්‍රබල කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹුණු බව සිරිකත සාකච්ඡාවට සහභාහි වූ හිටපු ජ්‍යෙෂ්ඨ එජාප ඇමැතිවරයෙක් පැවැසීය.

 මංගල සමරවීර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට පළවන පුවත් සත්‍යයක් නම් ඔහුට නාමයෝජනා නොදීමේ ප්‍රශ්නයක් පැන නොනගින බව මෙම සාකච්ඡාවේදී සඳහන් වී ඇත.කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ මංගල සමරවීර මහතාට මෙන්ම රන්ජන් රාමනායක මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දීමට කිසිදු හැකියාවක් නොමැති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එහිදී සදහන් කර ඇත.

-අංජුල මහික වීරරත්න-