https://www.gossiplankanews.com/2019/12/priyanka-uk-court.html#more

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා ශ්‍රීලංකාවේ 70 වැනි නිදහස් සමරු උළෙලට සමගාමීව ලන්ඩනයේ තානාපති කාර්යාලය අසළ විරෝධය පෑ උද්ඝෝෂකයන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධිය
සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්වූ අතර ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය

හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ.
මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් පවුම් 2400 ක දඩ මුදලක් ගෙවන ලෙස ඔහුට අධිකරණය නියෝග කර ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කරන ලදී.
“2018 පෙබරවාරි 4 වන දින ඔහු ගෙල සිඳලන ඉරියව්ව සිදු කළ බවට මට කිසිදු සැකයක් නැතැයි” ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බුට්නොට්  සිය තීන්දුවේදී පැවසුවාය.
මීට පෙර අවස්ථාවක බ්‍රිගේඩියර්වරයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශය සහ මහේස්ත්‍රාත් අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කෙරිණි.
පසුව මෙම නඩුව තම භාරය යටතට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බත්නෝට් මහත්මිය නඩුව නැවත මුල සිට කැඳවීමට තීරණය කළාය.
අවස්ථා කිහිපයකදීම මෙම නඩුව කල් දැමුණි.
එමෙන්ම එම සාක්ෂි විභාගය පැවැත්වෙන අතරතුර අධිකරණයෙන් පිටත ඊළාම් හිතවාදීන් සහ කොටි හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.