පසුගිය රජයෙන් නතර කළ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප යලිත් ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදුන් පොරොන්දුව ස්ථිරවම ක්‍රියාත්මක කරන බව රාජ්‍ය
පරිපාලන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහීන්ද සමරසිංහ මහතා අවධාරණය කරයි. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර හා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරි හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පසුගිය රජය සමයේ අවිනිශ්චිත තත්ත්වයක පැවැති රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවත
ලබාදීමට කටයුතු කරනවා සේ රාජ්‍ය පාලක විශ්‍රාම වැටුප අරමුදල් පිළිබඳව ද විශේෂ අවධානයකින් ක්‍රියාකරන බව සමරසිංහ මහතා කියා සිටියේය.

බොහෝ රජයන් මෙම අරමුදල් විවිධ ආර්ථික අවශ්‍යතාවලට යොදාගත තිබූ බැවින් ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් කර එහි සුරක්ෂිතතාව තහවුරු කරන බවත් ඉදිරි වසර 25  තුළදී රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 60ක් පමණ සිය විශ්‍රාම දිවිය අරඹන බැවින් ඔවුන්ගේ සුරක්ෂිතතාව  සඳහා දැන්ම සිටම නිවැරැදි  ක්‍රියාමාර්ගයකින් අවශ්‍ය සැලසුම් සකස් කළයුතු බවද  සමරසිංහ මහතා අවධාරණය කළේය.

එසේම විශ්‍රාම යන රාජ්‍ය සේවකයන් තම ජීවිතයේ සැඳෑසමය හොඳ සෞඛ්‍ය සම්පන්නව ගතකළ හැකි වන්නේ තම සේවාකාලය තුළ නිසි ලෙස සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගත හොත් පමණක් නිසා රාජ්‍ය සේවකයගේ සෞඛ්‍ය තත්වය වර්ධනය කිරීමෙහිලා විශේෂ වැඩසටහනක්, මෙන්ම වෛද්‍ය සායන විශේෂඥයන් සේවා හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටද ක්‍රියාකරන බව  රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා  වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට පාලින්ද නුවර හා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු විධායක හා ක්ෂේත්‍ර නිලධාරිහු රැසක් සහභාගි වූහ.