කළුතර පිහිටි මුල්‍ය ආයතනයකට ඇතුළුව මූල්‍ය ලිපිකාරිය සතුව තිබූ රුපියල් හත් ලක්ෂ හතළිස් එක් දහසක් පැහැර ගෙන යාම පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව බේරුවල පොලීසියේ අපරාධ විමර්ශන අංශය ඊයේ (01දා) පැවසීය.

බේරුවල පොලිස් ස්ථානයට මීටර් 600ක දුරින් පිහිටි මෙම මූල්‍ය ආයතනයට පෙරේදා (30දා) රාත්‍රී  10.50ට පමණ ඇතුළු වූ දෙදෙනෙක් මෙම පැහැර ගැනීම සිදුකළ අතර පැමිණි එක්  අයෙක් ආරක්‍ෂක හිස් වැසුමක් පැලඳ  සිට ඇති බවත්, අනෙකා හිස් වැසුමක් අතැතිව පැමිණ ඇති බවත් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

බිල්පතක් ගෙවීමක් සිදු කිරීම් මුවාවෙන් පැමිණි මෙම පුද්ගලයන් අදාළ සමාගමට පැමිණ ඇති අතර,
මූල්‍ය කටයුතු භාර 25 හැවිරිදි තරුණිය දොර විවෘත කර එම පුද්ගලයන් සිවුදෙනා ඇතුළට ගෙන තිබේ.

මේ අවස්ථාවේදී 30 හැවිදි කළමණාකාරවරයා වෙනත් කටයුත්තකට ඉහළ මාලයට ගොස් තිබෙන අතර මෙහි සේවයේ සිටි 22 හැවිරිදි තරුණියද වෙනත් කටයුත්තක් සදහා ගොස් සිටි බවත් විමර්ශන සිදු කරන පොලීසිය පවසයි.

තවද මෙම මූල්‍ය ආයතනයේ ආරක්‍ෂක කටයුතුවලටද මෙම අවස්ථාවේදී කිසිවකුත් සිටි නොමැති බවත්, තරුණියන් දෙදෙනෙකු හා තරුණ කළමනාකාරවරයා පමණේ සිට ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

කෙසේ නමුත් බිල්පතක් ගෙවීමට හෝ කුමන අවශ්‍යතාවකට හෝ පිරිමි පුද්ගලයෙකු නොමැතිව කාත්තාවක්
තනිවම එම ආයතනයේ දොර විවර කර පුද්ගලයන් රාත්‍රියේ ඇතුළට ගැනීම ගැටලුවක් බවත්, කළමනාකාරවයා  පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, ගිණුමි ලිපිකාරිනිය බෙන්තොට ප්‍රදේශයේ තරුණියක් බවත්, අනෙක් ලිපිකාරිය බේරුවල හෙට්ටිමුල්ල පදිංචි අයෙකු බවත් පරීක්‍ෂණ සිදු කරන පොලීසිය පවසයි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර කොටිඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලීසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශ ස්ථාන පොලිස් පරීක්‍ෂක සනත් කුමාර, පොලිස් සැරයන් ජයන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන දිලිනි ජරත්න, චාමින් යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂන සිදු කරති.


 අලුත්ගම - තුසික කුමාර සිල්වා / කළුතර  - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි / බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්