ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යනු රට මිලිටරිකරණය කිරීම හෝ තමන් අකමැනි නිලධාරින් ඉවකර හෝ වෙනත් ස්ථානවලට මාරුකර හෝ තමන් කැමති පුද්ගලයන්
ළගට ගැනීම නොවේ යැයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙති මහතා ඊයේ (29) පැවසීය.  ඔහු මේ බව පැවසුයේ, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඉකුත්දා (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. ඔහු මෙසේද පැවසීය.

ජනතාවගේ ජනවරම නව පාලනයෙන් පිළිඹිබු විය යුතුයි. එහෙත් දැන් සිදුවන්නේ මේ රටේ ජනතාව, මේ ජනාධිපතිවරයා පත්කරන්න ඡන්දේ දිපු ජනතාව ප්‍රාර්ථනා කළෙ දේ නෙවෙයි. අපි හිතුවාටත් වඩා පාන්දරම සුදු වෑන් එන්න පටන් අරන්. තව කල් යනකොට මොනවා වෙයිද කියලයි අපි කල්පනා කරන්නනේ. යම් යම් අපරාධ
සම්බන්ධයෙන් පසුගිය කාලයේ පෑවරූ නඩු, සාක්ෂි විකෘති කිරීම්, සාක්ෂි විනාසකිරීම්, සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම්, නීතිපතිට බලපෑම් කිරීම්, අවසානයේ නඩු අහෝසි කිරිම් දක්වා ගමන් කළ හැකියි.

නව ජනාධිපති පත්වුණ ගමන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තකම්මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ස්ථාන මාරුවක් ලබාදෙනවා. යම් යම් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරියෙක් වුණ නිශාන්ත සිල්වා ජිවිතය බේරගන්න රටින් පනිනවා. අපරාධකාරයෝ නිදැල්ලේ ඉන්නවා. පරීක්ෂාණ කරන නිලධාරීන්ට මරණ තර්ජන එල්ල වෙනවා. මේ ආණ්ඩුව බලයට එන්න කලින් බරපතළ ලෙසම කතාකරපු මාතෘකාවක් තමයි මහ බැංකු මංකොල්ලය. ඒත් දැන් ඒ ගැන කතාවක් නැහැ. දැන් මට බය තියෙන්නේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් අපි පරික්ෂණ කරපු විදිහ වැරැදියි කියලා මාව උසාවි දායිද කියලයි.

මොකද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිගේ නමට වාර්තාවට ඇතුළත් කළේ නැහැ කියලා මටත් ඒ දවස්වල චෝදනාවක් කළා. දැන් ආණ්ඩුව කළයුත්තේ පරීක්ෂණ සිදුකළ විදිහ වැරදියි හෝ වෙනත් චෝදනා එල්ලකරමින් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු පොලිස් නිලධාරින් හිරිහැරයට ලක්කිරීම නෙවෙයි. අධිකරණ හමුවේ පෙනී සිටිය යුතු අයට නිත්‍යානුකූලව ඒ ක්‍රියාවලියට සම්බන්ධ  වෙලා තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීමයි.  එයින් පමණයි අදාළ නිලධාරින් හරිද, වැරැදිද යන්න ඔප්පු කළ හැක්කේ. බලයට ආ විගසම ආණඩුව හැසිරෙන්නේ මෙහෙම නම් තව අවුරුදු තුන හතරක් යන විට රටේ තත්ත්වය කුමක් විය හැකිද?

මේ ආණ්ඩුවේ අය විපක්ෂයේ ඉන්නකොට මෙවැනි දේවල් නෙවෙයි මීටත් වඩා  සුළු දේවල් සිදුවන විට පවා රටට ඇති විය හැකි ජාත්‍යන්තර බලපෑම් ගැන, සංචාරක කර්මාන්තයේ කඩාවැදීම ගැන මහා ලොකුවට කතාකරපු අය දැන් නිහඩයි.
එදා සිදුවුණ, එදා ඔවුන් විවේචනය කළ ඒ සියල්ලත් වැරැදියි. ඒවාත් නොවිය යුතු දේවල්. ඒ වගේම දැන් සිදුවන දේවලුත් නොවිය යුතු දේවල්. ඒවා ගැන කවුරුත් කතා නොකිරීමයි දැන් තිබෙන ප්‍රශ්නය. දැන් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියනවා මේ තානාපති කාර්යාල නිලධාරීනිය පැමිණිල්ලක් කරලා නැහැ කියලා. පැමිණිල්ලක් කළොත් මරණවා කියලා තර්ජනය කළාම කවුරුත් පැමිණිලි කරන්න බයයි.

මේ අත තියලා තියෙන්නේ සාමාන්‍ය රටක තානාපති කාර්යාලයකට නෙවෙයි. ස්විට්සර්ලන්තයට. එවැනි රටකට අත තිබ්බ එවැනි රටක තානාපති කාර්යාල නිලධාරිනියක් සුදු වෑන් එකක් අරන් ගිය අයට පොඩි පොඩි රටවල තානාපති කාර්යාල මොනවද? ඔවුන්ට ඔබ අපි වගේ මිනිස්සුන්ට මොනවා කරන්න බැරිද?  මෙතනින් නැවතිලා නැහැ. පහුගිය දවසක වෙබ් මාධ්‍ය ආයතනයක් වසා දමනවා. එහි මාධ්‍යවේදිනියකගෙනුත් බරපතළ ලෙස ප්‍රශ්නකර තිබෙනවා. ඉස්සර තර්ජන ආවේ මාධ්‍යවේදින්ට, වෘත්තීය සමිති නායකයන්ට වගේ අයටයි. දැන් මාධ්‍යවේදින්ට තර්ජනය එන අතරම පොලිස් නිලධාරීන්ටත් තර්ජනය ඇවිත්.

නිලධාරින් හත්සියකගේ විදෙස් ගමන් නවත්තලා. තානාපති සේවයටත් තර්ජන ඇවිත්. හැම පැත්තකටම තර්ජන එල්ල කරන මේ රට මොන විදිහේ රටක්ද?  අපි වේලාසනම කිව්වා මේ අය බලයට ගෙනාවාම නැවත සුදුවෑන් සංස්කෘතිය එනවා කියලා. බියගැන්වීම්, තර්ජනය කිරීම් හිතුවාටත් වඩා වේගයෙන් ඇවිල්ලා. අපි ජනතාවගේන් ඉල්ලා සිටින්නේ තර්ජනය තමන්ට හා තමන්ගේ පවුලේ අයට සිදුවන තුරු බලා නොසිට මේ මර්දනයට එරෙහිව නැගීසිටින ලෙසයි. හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතාද එම මාධ්‍ය හමුවට එක්විය.  මෙහිදී මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න හා හඳුනෙත්ති මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ වැඩ නැවැත්වීම සම්බන්ධයෙන් ජවිපෙ දකින්නේ කෙසේද?

පිළිතුර - මේ සම්බන්ධයෙන් තවම රජයෙන් නිල නිවේදනයක් සිදුකර නැහැ. ඒ නිසා අපිට කියන්න බැහැ හරියටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අපි සැකකරනවා රටම මිලිටරීකරණය කිරීමේ වැඩ පිළිවෙළේ එක කොටසක්ද මේකත් කියලා.

ප්‍රශ්නය- රජය බදු වර්ග ගණනාවක් අඩුකළා. එහෙත් වෙළඳ සංගම් කියනවා ඒක බඩුමිලට බලපාන්නේ නැහැ කියලා. මොකක්ද මේ වෙන්නේ?

පිළිතුර-  අපිටත් මේක පැහැදිලි නැහැ. මේ බදු අඩුකිරීම් හා ඒ නිසා අඩුවන බඩුමිල සම්බන්ධයෙන් වන ගැසට්ටුවක් නිකුත් කළ යුතුයි. පාර්ලිමේන්තුව කැඳෙව්වාම එහිදී මේ ගැන සාකච්ඡා කරන්නට අවස්ථාව ලබාදිය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා එතනදි මේ ගැන කතාකර කරුණු පැහැදිලි කරගන්න.

-මුදිතා දයානන්ද-