https://www.gossiplankanews.com/2019/12/ganiya-switzerland-sri-lanka.html
සුගියදා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීමේ සිද්ධිය මේ වනවිට රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් මතුකරවන 'දේශපාලන ගේමක්' බවට පත්ව ඇති අයුරු හඳුනාගන්නට ලැබේ.
පැහැරගත් බව කියන තැනැත්තිය ශ්‍රී ලාංකික දමිළ ජාතික වීසා නිලධාරිනියක වූ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ය. ඇය කාර්යාල වැඩ නිමවී නිවසට යන අතර
ග්‍රෙගරි පාරේදී නවතන ලද පිරිසක් තමන් රහස් පොලිසියෙන් යයිද ප්‍රශ්න කිහිපයක් ඇසිය යුතු යයිද දන්වා ඇයව සුදු පැහැති කාර් එකක නංවාගෙන ගිය බවත් ඒ අතරවාරයේ ඇය බියට පත් කර ප්‍රශ්න ඇසූ බවත් දුරකථන දත්ත බලහත්කාරයෙන් ලබාගත් බවත් ලිංගික හිරිහැර සිදු කළ බවත් ඒ සම්බන්ධයෙන් එදින තානාපති

කාර්යාලය පොලිසියට කරන ලද පැමිණිල්ලේ දැක්වේ.
මෙම සිදුවීමෙන් පසු ඒ ගැන පොලිස් මාධ්‍ය ඒකකය ගොළුවත රැක්ක අතර එවන් සිදුවීමක් සිදුවූ බව මුල්වරට පළවූයේ ලංකාවේ නොව විදෙස් මාධ්‍ය වලයි.
 දින දෙකකට පසු පොලිසිය ඒ ගැන පැහැදිලි කරමින් දන්වා තිබුනේ එලෙස පැමිනියේ රහස් පොලිසියේ නිලධාරීන් නොවන බවයි. එසේම මේ ගැන සීසීටීවී වාර්තා විමර්ශනය කරමින් පවතින බවද දන්වා තිබුණි.

මෙම සිද්ධිය ගැන සාධාරණ විමර්ශනයක් සිදුවේදැයි සියල්ලන් බලා සිටියදී වෙනස්ම ආකාරයේ නාටකයන් රඟදැක්වෙන්නට පටන් ගත් අතර ඒවායින් පිළිබිඹු කෙරුනේ මෙය හුදෙක් දේශපාලන ගේමක් බවට පත්කරගන්නා ආකාරයයි. රජයට පක්ෂපාතී ඇතැම් පිරිස් මෙම සිද්ධිය තුළින් විපක්ෂය වාසි ගන්න හදනවා යයි උපකල්පණයක් මත විවිධ රංගනයන්හි නිරතවෙද්දී විපක්ෂය වෙනුවෙන් හිටපු ඇමති රාජිතද අමුතු කතා කියන්නට විය.
සීසීටීවී විමර්ශන වල කිසිවක් නැතැයිද නිලධාරිනිය කී කරුණු පරස්පර බවද මාධ්‍යයට දන්වා තිබුනේ විදේශ කටයුතු ආමාත්‍යංශයයි.  මෙම 'පරස්පර' කතාවෙන් මවිතයට පත්  ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් පැස්කල් බේරිස්විල් මහත්මිය පරස්පර යයි කියන පටහැනි සාක්ෂි පැහැදිලි කරන ලෙස ස්විට්සර්ලන්තයේ  ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමු වී මේවනවිට  දන්වා තිබෙයි.
නීතියේ ක්‍රියාවළිය අනුව මතුව ඇති ගැටලුව විසදා ගැනීමට ස්විට්සර්ලන්තය පූර්ණ සහයෝගය ලබාදෙන බව ද රාජ්‍ය ලේකම්වරිය තානාපතිවරයාට දැනුම්දී ඇත.

මෙම සිදුවීමට සම්බන්ධ සේවිකාව සෞඛ්‍ය හේතු මත තවමත් ප්‍රකාශයක් ලබාදී නැත. ඇයට ඇතිවූ කම්පනය හෝ ලිංගික හිරිහැරය හෝ නිසා එය පමාවී තිබේද නැතිනම් ලංකාවේ පොලිසිය ගැන විශ්වාසයක් නැතිව එය නොකර සිටීද යන්න පැහැදිලි නැත.
හිටපු ඇමති රාජිත කියා තිබුනේ ඇයගේ කටට පිස්තෝල ඔබා තර්ජනය කළ කතාවකි. එහි සත්‍ය අසත්‍යතාව දන්නේද ඔහුය.
නිලධාරිනිය ප්‍රකාශයක් ලබා නොදීම සැකයට ලක් කර තිබෙන රජයට පක්ෂපාතී පිරිස් ඇය ස්විට්සර්ලන්තයට ගොස් ජාත්‍යන්තරය හමුවේ මෙම කරුණු හෙළි කරනු ඇතැයි බියට පත්වූ සෙයක්ද දැන් ප්‍රකට වේ.
ඒ නිසා ඊයේ රහස් පොලිසිය ඇයට විදෙස්ගතවීම වළකාලමින් තහනම් නියෝගයක්ද ගෙන ඇත.
වින්දිත පාර්ශ්වයක් සම්බන්ධ ගැටලුවකදී වින්දිතයා වෙනුවට අනෙක් අය ඉස්සරවීමක් ලෙස එම නියෝගය නිරීක්ෂණය වේ.
ඉදිරි මහමැතිවරණයේ නාමයෝජනා අපේක්ෂා කරන්නෙකු වන මේජර් අජිත් ප්‍රසන්න තානාපති කාර්යාලය අසළ බිම දිගාවී තනි පුද්ගල උපවාස විරෝධතාවයකද නිරතවූයේ වින්දිතයාට ඉක්මණින් කටඋත්තර දෙන්නැයි ඉල්ලමිනි. ඉහළ අණින් එය පැය 12කට සීමාවූ අතර එහි ඡායාරූප සමග විදෙස් මාධ්‍ය තුළ පළවූ කරුණු

වලින් ප්‍රකට කළේ ලංකාව දකුණු ඉන්දියාවේ ජරාජීර්ණ මුග්ධ දේශපාලකයින් හැසිරෙන ආකාරය හා සමාන ස්වරූපයකි.

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වැනිදා දක්වා ඇයට අධිකරණයේ අවසරයෙන් තොරව විදේශගත වීම තහනම් කරමින් ඊයේ (3) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝගයක් නිකුත් කළාය.

රහස් පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කළ අතර එහිදී රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ඉකුත් 25 වැනිදා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික වීසා නිලධාරිනියක කිසියම් කණ්ඩායමක් විසින් සුදු කාර් රථයකින් පැහැරගෙන ගොස් දැනට විදේශගතව සිටින රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට වීසා ලබාදීම සම්බන්ධයෙන් තර්ජනාත්මකව කරුණු විමසා ලිංගික අඩන්තේට්ටම් කළ බවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යාංශය හරහා පොලිස්පතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.

මේ පිළිබඳව රහස් පොලිස් නිලධාරීන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට ගොස් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ කළද එම නිලධාරිනිය පිළිබඳව තොරතුරු හෙළි කිරීම අදාළ තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් ඉන් පසුව ඇයගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවෙසේද කිසිවෙකු නොමැති බවට කරුණු අනාවරණය වූ බවත් සඳහන් කළේය. එසේම ඇයගේ සැමියා බැංකු නිලධාරියකු වන බව දැනගෙන ඔහු රැකියාව කළ බැංකුවට ගොස් පරීක්ෂා කිරීමේදී ඔහුද සේවයට වාර්තා කර නොමැති බවට කරුණු අනාවරණය වූ බව රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා ඇත.

මේ අතර විමර්ශන ප්‍රමාද කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඇති වගකීම බරපතළ ලෙස සලකන බවත් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.
මේ වනවිට නව රජයට පක්ෂපාතී පුවත් පළ කරන රජයේ හා පුද්ගලික මාධ්‍ය ස්විට්සර්ලන්තය අපකීර්තියට ලක්වන ආකාරයේ වෙනත් ප්‍රවෘත්තිද උලුප්පා පළකරමින් සිටින අතර මෙය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් විසඳාගන්නා සංයමය වෙනුවට දේශපාලන ගේමක් ගසන ආකාරයක් පෙන්නුම් කර තිබේ.