බම්ලපිටිය නගරයේ චීන ජාතිකයන්ගේ ඉදිකිරීම් වැඩබිමක 39 වැනි මහලේ සිට ගාලු පාරේ වාහන දෙසට යකඩ කූරු හා ගඩොල් විසිකළ බව කියන ශ්‍රී ලාංකික ඉංජීනේරුවෙක් පෙරේදා (22) කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුට ගෙන ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයකු බව ද පොලිසිය පවසයි.

සැකකරු ඇතුළු පිරිසක් ඉකුත් 20 වැනි දින දහවල් සිදුකළ මෙම ක්‍රියාවෙන් යකඩ කූරු හා ගල් වැදී ගාලු පාරේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට හා මෝටර් රථයකට හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

තම බස් රථය ගාලු පාරේ ධාවනය වෙමින් තිබියදී මෙම යකඩ හා ගඩොල් වාහන මත වැදිමන් හානි සිදු වූ බවට ලංගම බස් රථයේ රියැදුරු හා මෝර් රථයේ රියැදුරු කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකාර ඉංජිනේරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 39 වැනි මහලේ සිට මාර්ගයට යකඩ කූරු විසිකරන අයුරු සේවකයෙකු දැක ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියට තවත් කිහිපදෙනකු සම්බන්ධ වී ඇති බවත් ඔවුන් ද අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය පවසයි.

සැකකරු බිමට වීසිකළ යකඩ කුරක් බස් රථයේ වැදී වහල සිදුරු වී ඇති බවත් එම අවස්ථාවේ බස් රථයේ මගීන් විශාල පිරිසක් ගමන් ගෙන ඇති බව ද පැවැසේ.

මොවුන්ගේ මෙම ක්‍රියාව හේතුවෙන් ගාලු පාරේ ගමන් ගන්නා වාහන මෙන්ම මගී ජීවිත ද අනතුරට ලක්වූ බැවින් සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ද පොලිසිය කියයි.

මොවුන් කුමන අරමුණකින් මෙම ක්‍රියා සිදු කළේ ද යන්න හෙළි කරගැනීමට පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරී සිසිර පෙත්තන්තන්නේත්‍රි මහතාගේ උපදෙස් මත, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජේ.බී. නිලන්ත මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වති.

(ඉන්දික රාමනායක)