ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමේ ගුවන් ගමන් ගාස්තුව යළිත් සියයට 10කින් ඉහළ දැමිමට ශ්‍රී ලංකන් ගුවන් සේවය කටයුතු කිරීම නිසා, ජපානයේ සිටම කෙළින්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයකුට ඒ
වෙනුවෙන්  ජපනයෙන් ලක්ෂයක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක් පමණ වියදම් කිරීමට සිදු වන නමුත් එම ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යෑමට පැමිණෙන සංචාරකයකුට වැය කිරීමට සිදුවන්නේ  ජපන් යෙන් 65,000ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,10,000ත් පමණකැයි ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති සමන් ප්‍රියංකර මහතා  පැවසීය.

ජපානයේ සිට කෙළින්ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයකුට එවැනි වියදමක් දැරීමට සිදු වුවද එම ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යාමට පැමිණෙන
ගුවන් මගියකුට ශ්‍රී ලංකාවට පැමිණ දිනක් නතර වීමට හෝටල් පහසුකම් ද සහිතව වැය වෙන්නේ ජපන් යෙන් 65,000ක් ගත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 110,000ක පමණ මුදලක් බව ද සමන් ප්‍රියංකර මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙසේ කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් හා ආයෝජකයන් පැමිණියේ දැයි ප්‍රශ්න කළ සමන් ප්‍රියංකර මහතා වැඩිදුරටිත් කියා සිටියේ මේ තත්ත්වය තුළ සංචාරකයින් හා ආයෝජකයන් ඉන්දියාවේ තෝරා ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බවය.

ආසියා කලාපයේ වෙනත් රටවල් තම රටෙහි ජාතික ගුවන් සේවය යොදා ගන්නේ තම රටට වැඩි වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට වුවද, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙසේ කයුතු කිරීම ගැටලු සහගත බව ද හෙතෙම කියා සිටියේය. සංචාරය සඳහා මෙන්ම ආයෝජන කටයුතු සඳහා  ද ශ්‍රී ලංකාවට පැමිණීමට සිටි විශාල පිරිසක් මේ තත්ත්වය තුළ තමන්ගේ තීරණය වෙනස් කර ඇති බව දැනගන්නට තිබෙන බව ද ජපානයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-ප්‍රසන්න සංජීව තෙන්නකොන්-