පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම නිසා එම කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා, කොළඹ උතුර කොට්ඨාස (2) බාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාට ඊයේ (23) අවවාද කළේය. 
දිවුරුම් පිට සාක්ෂි දෙමින් කොමිසම ඉදිරියේ අසත්‍ය කරුණු ප්‍රකාශ කරන්නේ නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කොමිසමේ සභාපතිවරයා මෙහිදී පැවැසිය.

පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ (23) පෙරවරුවේ පෙනී සිටිමින් සාක්ෂි දුන් අතර ඔහු පොලිස් විමර්ශන ඒකකයට හා ජනපති කොමිසමට දුන් ඇතැම් සාක්‍ෂි පරස්පර විරෝධී බවට කොමිසමේ සාමාජිකයන්ට එහිදී හැඟී ගියේය. කොමිසමේ සභාපතිවරයා පොලිස් අධිකාරිවරයාට අවවාද කළේ ඒ අවස්ථාවේදීය.
සිද්ධිය වූ දින ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන්නැයි නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා දුන් පණිවුඩය ඒ අවස්ථාවේදි තමා යටතේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් නොදුන්නේ ඇයි දැයි රජයේ අධි නීතිඥ සංජීව දිසානායක මහතා පොලිස් අධිකාරිවරයාගේන් මෙහිදී ප්‍රශ්න කර සිටි අතර ඊට පිළිතුරු දුන් පොලිස් අධිකාරිවරයා අකුණු සහිත අයහපත් කාලගුණික තත්වය නිසා ඒ අවස්ථාවේදී දුරකථන ඇමතුම් ගැනිමට නොහැකිවුණු බව ප්‍රකාශ කළේය.

පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාට ලැබුණු සහ ඔහු ලබාගත් දුරකථන වාර්තා රජයේ අධි  නීතිඥවරයා මෙහිදී කොමිසමට ඉදිරිපත් කළේය. එම වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ රජයේ අධිනීතිඥවරයා පැවැසුවේ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ප්‍රහාරයට පෙර පස්වරු 7.26 ට සංජීව බණ්ඩාර මහතාට දුන් දුරකථන ඇමතුමෙන් පසුව පස්වරු 7.55 දක්වා බණ්ඩාර මහතා විවිධ දුරකථන ඇමතුම් ගෙන තිබූ බවයි. අවශ්‍යතාව තිබුණේ නම් ඒ ප්‍රහාරය ගැන පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කිරීමට හැකියාව තිබූ බවත් කාලගුණය ඊට කිසිසේත් බාධාවක්වී නොතිබූ බවත් රජයේ අධිනීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුව පොලිස් අධිකාරිවරයා එම කොමිසම හමුවේ ඊයේ පෙරවරු 10.00 ට පමණ පෙනී සිටියේය. ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ කොළඹ  ප්‍රදේශයේ පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු  ඉකුත්දා සාක්ෂි දුන් අතර ඒ පිරිසට පොලිස් අධිකාරි  සංජීව බණ්ඩාර මහතාගේ පෞද්ගලික සහකාර  ලෙස කටයුතු කළ පොලිස් පරික්ෂක ආර්.එස්.  උපේන්ද්‍ර මහතාද විය. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව පොලිස් සටහන් ස්ථාන වෙනස් කිරිමට පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර තමා සමග සාකච්ඡා කළ බවට පොලිස් පරික්ෂක
උපේන්ද්‍ර ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබූ අතර මේ ප‍්‍රකාශය රටේ මහත් ආන්දෝලනයට හේතුවිය.

කොළඹ උතුර පොලිස් අධිකාරි කාර්යාලයට ලැබුණු අනතුරු ඇඟවීමේ ලේඛනයේ තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රහාරයක් ගැන සඳහන්ව තිබූ බවටත් තමා ඒ සම්බන්ධයෙන් පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතා දැනුවත් කිරිමට කටයුතු කළ බවට පොලිස් පරික්ෂක උපේන්ද්‍ර මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබිණි.පොලිස් අධිකාරි කාර්යාලයේ තිබූ ලිපි බැහැර කිරිමේ ස්ථාන පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත වෙනස් කළ බවද ඔහු  වැඩිදුරටත් සඳහන් කර තිබුණේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව මෝදර හා ජම්පටාවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන්ද ඉකුත්දා ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. කොමිසම පොලිස් ප්‍රධානීන් තවත් කිහිප  දෙනෙකුගෙන්ද ඉදිරියේදි ප්‍රශ්න කිරීමට නියමිතය. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් සැප්තැම්බර් 23 වැනිදා මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කොමිසන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු හා විශ්‍රාමික  අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්. අධිකාරි මහත්ම මහත්මීහු කටයුතු කරයි. ජනාධිපති කොමිෂන් සභාව වෙනස් කළ  විමර්ශනවලට අදාළ තොරතුරු ඇතුළත් අතුරු වාර්තාවක් එහි සාමාජිකයන් විසින් ඉකුත් 19 වැනිදා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබිය.


-සුජිත් හේවාජුලියගේ-