කිලෝග්‍රෑමයකට රුපියල් 8ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යටතේ ආනයනය කරන තිරිංගුපිටි කිලෝවක් රුපියල් 75ක උපරිම තොග මිලට ලබාදිය හැකි බවත් ඒ අනුව පාන් රාත්තලක් රුපියල් 50කට පමණ ලබාදීමට බලාපොරොත්තු වන බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සහාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

එසේම බනිස්, මාළුපාන්
ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00 කින් අඩු කරන බව ද ජයවර්ධන මහතා පැවැසීය.

ආනයනික තිරිගුපිටි සඳහා මෙතෙක් පැවැති රුපියල් 36ක් පමණ වූ බදු ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රුපියල් 8ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් හඳුන්වා දීම රජය ගනු ලැබූ එඩිතර පියවරක් බව පැවසු ඔහු ඒ පිළිබඳව සංගමය රජයට ස්තුතිය පුද කරන බව ද කීය.

මෙතෙක් පැවැති හැම රජයක්ම තිරිඟුපිටි නිෂ්පාදන සමාගම් දෙකට යටවී තිරිගු පිටි ආනයනය කිරීමේ බදු අඩු නොකළ බව පැවසු ජයවර්ධන මහතා කිසිදු රජයක්නොකළ මෙම එඩිතර පියවර ගැනීම හේතුවෙන් එම සමාගම් සතුව මෙතෙක් පැවැති පිටි ඒකාධිකාරය බිඳ වැටී ඕනෑම ව්‍යාපාරිකයකුට තිරිඟුපිටි ආනයනය කිරීමට අවසර ලැබෙන බවත් එමගින් ජනතාවට සහන ලැබෙන බවත් පැවසීය.

මහින්ද නිශ්ශංක