දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉදිකර තිබෙන ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සමාගමකට අයත් සම්ප්‍රේෂණ කුලුනුවල ආධාරක බැටරි සොරකම් කරන කල්ලියක සාමාජිකයෙක්, ඔවුන් සොරකම් කළ රුපියල් ලක්ෂ 20 කට වඩා වටිනා බැටරි 44 ක් සමග අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීසියේ නිලධාරීහු ඉකුත්දා (14)
සමත් වූහ. බිංගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 38 හැවිරිදි මේ සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලීසිය කියයි. අනුරාධපුර, තිසාවැව, දේවානම්පියතිස්සපුර ඉදිකර තිබෙන එම ජංගම දුරකථන සමාගමට අයත් සම්ප්‍රේක්ෂණ කුලුනේ සවිකර තිබූ ආධාරක බැටරි 16 ක්, පසුගිය 03 වැනිදා රාත්‍රියේ සොරකම්කරගෙන යාම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව පරික්ෂණය සිදු කරද්දී අනාවරණය වූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඔවුන් සම්ප්‍රේක්ෂණය කුලුනුවල බැටරි සොරකම් කිරීම සඳහා ගත මෝටර් රථයද සමගිනි.

ආඩිඅම්බලම ප්‍රදේශයේ කුලි පදනම මත වාහන සපයන ආයතනයකින් දෛනික කුලී පදනම මත ලබාගෙන තිබූ මෙම මෝටර් රථය පරික්ෂා කිරීමේදී එහි තිබී බැටරි ගැලවිම සඳහා භාවිතා කරන උපකරණ කට්ටලයද හමු වූ බව පොලිසිය කියයි.. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී මෙම සොරකමට තවත් දෙදෙනෙක් සම්බන්ධ බවත්, ඔවුන් දෙදෙනා හා මෙම සැකකරු එක්ව පසුගිය කාලසීමාව තුළ තඹුත්තේගම, එප්පාවල, ආරච්චිකටුව, සීදුව, කොච්චිකඩේ, පමුණුගම, ජා ඇල, හලාවත, මිනුවන්ගොඩ, කටුනායක සහ මිහින්තලේ යන ප්‍රදේශවල එම ප්‍රධාන පෙළේ ජංගම දුරකථන සමාගමට අයත් සම්ප්‍රේක්ෂණ කුලුනුවල සවිකර තිබූ ඇම්පියර් 100 හා 150 ප්‍රමාණයේ බැටරි දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සොරකම්කර තිබෙන බව අනාවරණය වූ බවත් පොලීසිය පවසයි. මෙම බැටරියක වටිනාකම රුපියල් 35000 ත් 70000 ත් අතර වන බව පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත ඔවුන් සොරකම් කළ බැටරිවලින් 44 ක්  පෑලියගොඩ ප්‍රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන ව්‍යාපාරික ස්ථානයකට විකුණා තිබියදී සොයාගත් බව පවසන පොලිසිය, එම ව්‍යාපාරික ආයතනය වත්තල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට අයත් බවට අනාවරණ වූ බවද පවසයි. පොලිසිය එම ස්ථානයට යන විට නාගරික මන්ත්‍රීවරයා එහි නොසිටි බැවින් ඔහුට ප්‍රකාශයක් ලබාදීමට අනුරාධපුර පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. මෙම සොරකමට සම්බන්ධ කල්ලියේ අතක් සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය වැඩිදුරටත්  පරික්ෂණ පවත්වයි. අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

-අතුල බණ්ඩාර-