කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත පොදු සමාගමක් වන ලාෆ් ගෑස් පී.එල්.සී හි කොටස් සම්බන්ධව ක්‍රියාකාරී කොටස් වෙළඳ පොළක ව්‍යාජ හා නොමග යවනසුලු පෙනුමක් ඇති කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඩබ්ලිව්. කේ.එච්. වෑගපිටිය, යූ.කේ. තිලක් එන් ද
සිල්වා සහ තක්ෂිල අයි.හුලංගමුව යන අයට එරෙහිව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පෙරේදා (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පැවරූ බව විනිමය කොමිෂන් සභාව පවසයි.

ඔවුන් වැරදිකරුවන් වුවහොත්, විත්තිකරුවන් වසර 5කට නොවැඩි
කාලයක් සඳහා සිරගත කිරීම හෝ රුපියල් පනස් දහසකට නොඅඩු හා රුපියල් මිලියන 10ක් නොඉක්මවන දඩයකට හෝ එවැනි සිරදඩුවමක් හා දඩයකට යන දෙකම හෝ යටත් විය හැකි බවද විනිමය කොමිසම පවසයි.

ඉහත විත්තිකරුවන් පිළිවෙළින් ලාෆ්ස් ගෑස් පී.එල්.සී. හි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ සහ කොටස්  තැරැවිකාර සමාගමක ආයෝජන උපදේශකයෙකු බවද පවසන විනිමය කොමිසම, 2001 ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා රීතීන්හි 12 වැනි රීතියට පටහැණිව, ක්‍රියාත්මක කරන ලද එවැනි කොටස් වෙළඳාම් මගින් ලාෆ්ස් ගෑස් සමාගමෙහී කොටස්වල මිල, වෙළඳ පොළ සහ ක්‍රියාකාරි වෙළඳාම් සම්බන්ධයෙන් ව්‍යාජ හා නොමග යවනසුලු පෙනුමක් ඇතිකර තිබෙන බව කියයි. විනිමය කොමිසම වෙනුවෙන් පෙනී සිටින නීතිපති දෙපාර්තමේතුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ෂන ද සිල්වා මහතා කරුණු දැක්වීමෙන් අනතුරුව උගත් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 2019 දෙසැම්බර් 13 වැනි දින තමා ඉදිරියේ පෙනී සිටින ලෙස දක්වමින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කර ඇති බවද කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

ෂමිල පෙරේරා