https://www.gossiplankanews.com/2019/11/weeraketiya-accident.html
වීරකැටිය තංගල්ල මාර්ගයේදී පසුගිය සිකුරාදා පස්වරුවේදී සිදුවූ රිය අනතුරකින් එකොළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක සහ හය හැවිරිදි ශිෂ්‍යයකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි. මෙම දරු දෙදෙනා සමග ගිය මවටද බරපතල තුවාල සිදුවිය.
අනතුර සිදු කළ හොන්ඩා වර්ගයේ මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබූ අතර
පසුව  විතාරන්දෙණිය ප‍්‍රදේශයේ නිවසක නතරකර තිබිය දී වීරකැටිය පොලිසිය මගින් සොයාගෙන ඇත. එම අවස්ථාවේ මෝටර් රථය පදවා ඇත්තේ වීරකැටිය ප‍්‍රදේශයේ ජනප්‍රිය පාසලක එකොළහ ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන දහසය හැවිරිදි පාසල් ශිෂ්‍යයකු වූ බව ද ඔහුට රියැදුරු බලපත‍්‍රයක් තිබී නැති බවද වාර්තා විය. ඔහු සමග එම පන්තියේ තවත් මිතුරන් දෙදෙනකුද අනතුර අවස්ථාවේ වාහනයේ ගමන් කර තිබේ.
පසුගිය සිකුරාදා 01 වැනිදා පස්වරුවේ දී වීරකැටිය තංගල්ල මාර්ගයේ කටුවැව ප‍්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ. විතාරන්දෙණියේ පොල් තවාන පදිංචි මෙම පාසල් දරුවන් දෙදෙනා

සිය මව සමග පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වීමට බස් රථයකින් පැමිණ ඉන් බැස පාර මාරුවන අවස්ථාවේ වීරකැටිය දෙස සිට පැමිණ ඇති මෝටර් රථයේ ගැටී ඇත. මෙහිදී අවට සිටි පිරිස් දරුවන් දෙදෙනා සහ මව වෑන් රථයකට ගෙන වීරකැටිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළද දරු දෙදෙනා මියගොස් තිබුණි.
මෙම සිසුන් දෙදෙනා තංගල්ල ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලැබූවන්ය. සනුරි විහාංසා සිසුවිය පහ ශ්‍රේණියේ ද සනුජ ඉන්සර ශිෂ්‍යයා පළමු ශ්‍රේණියේ ද අධ්‍යාපනය හදාරමින් සිට ඇත.මව ද බරපතල තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ ආකාරයට බාල වයස්කාර දරුවෙකුට වාහනයක් පැදවීමට ලබාදීම ගැටලුකාරීය.
 සැකකාර පාසල් සිසුන් තිදෙනා ද මෙම අයට මෝටර් රථය ලබා දුන් තරුණයා ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෝටර් රථයේ හිමිකාරිය ගුරු උපදේශකවරියක වන අතර බාලවයස්කාර සිසුවාට මෝටර් රථය දී ඇත්තේ ඇගේ 24 හැවිරිදි පුතාය.
ඔවුන් නොවැම්බර් 15  වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස වලස්මුල්ල වැඩබලන මහේස්ත්‍රාත් එම්.ඒ. වීරසිංහ මහතා නියෝග කළේය.  මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ වලස්මුල්ල කලාප අධ්‍යපන කාර්යාලයේ ගුරු උපදේශිකාවක වූ අමරවීර විදාත කංකානම්ගේ සුනීතා සහ ඇගේ පුතණුවන් වූ ඉෂාන් සුලෝචන (24) යන දෙදෙනාය.බාලවයස්කාර සිසුනට මෝටර් රථය ලබාදී ඇත්තේ හිමිකාරිය වූ ගුරු උපදේශිකාවගේ අනුදැනුමකින් තොරව බව ද අධිකරණයේදී කියැවිණි.
මෝටර් රථය පැදවූ

බාලවයස්කාර ශිෂ්‍යයා සහ එම රථයේ සිටි අනෙක් පාසල් සිසුන් දෙදෙනා ගාල්ල කිතුලම්පිටිය රැදවුම් මධ්‍යස්ථානයට යොමුකර ඇත.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ 11 හැවිරිදි සයුරි විහංගා රාජපක්ෂ හා සය හැවිරිදි තනුජ නිම්සර රාජපක්ෂ දරුවන්ගේ පියා පෙදරේරු වෘත්තියේ යෙදෙන්නකු වන සුරංග රාජපක්ෂ (45) මහතා අනතුර පිළිබඳ දැනගන්නා විටත් දරුවන් රෝහල්ගතව  තිබූ අතර ඔවුනගේ මව වන එස්.ජී. රංජනී මහත්මිය බරපතළ ලෙස තුවාල ලබා ගාල්ල කරාපිටියට රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
'මගේ දරු පැටවුන් දෙන්න අපි හදාගන්නෙ පණ වගේ.පසුගිය සිකුරාදා දරුවන් දෙන්නත් මගේ බිරිඳත් මම පාරට ගෙනිහින් දාල ඇවිල්ල දහවල් කෑම ගන්න හදනකොටම වීරකැටිය රෝහලෙන් මට කතා කරල කිව්ව. මගේ දරුවන් දෙදෙනා හදිසි අනතුරකට ලක්වී රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ නිසා හැකි ඉක්මනින් එන ලෙසය. එතැනට යනකොට විශාල පිරිසක් එක්වෙලා හිටිය. මට තේරුණා මගේ දරු පැටවුන්ට කරදරයක් කියල. දරු පැටව් අරගෙන තංගල්ල රෝහලට ගියා.
ඒ යනවිට මගේ රත්තරං පුතා අපි දාල ගිහිල්ල. ඊට පස්සෙ දරන්න බැරි දුකෙන් අපි මාතරට යැව්ව. රෝහල ළඟට යනවිට මගේ රත්තරං දුවත් අපි දාල ගිහිල්ලා. ඒ එක්කම මට ඇහුණා මගේ බිරිඳ කරාපිටිය රෝහලට යැව්වා කියල. අප මොන වරදක් කරලද අපට මෙහෙම සිද්ධ වුණේ යැයි කියමින් ලතෝනි දෙන්නට විය.
සිද්ධිය සම්බන්දයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුවේ.