ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල ජන්ද ව්‍යාපාරය මෙහයවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන තිබේ.

ඒ අනුව අගමැතිවරයා ගෙවුණු සති අන්තයේ (O2දා සහ 03දා) උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කොට එම ප්‍රදේශවල ජනතාව ඇමතීය.

අදින් (04දා)  ඇරඹෙන සතිය තුළදී රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර පළාතේ සංචාරය කොට ඡන්ද ව්‍යාපාරයේ නියැළීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

ගත වූ සති අන්තයේ සෙනසුරාදා (02දා) පෙරවරුවේ වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේ ව්‍යාපාරික හමුවකට සහ තරුණ හමුවකටද, සවස 2.00ට මුතුර්හි තෝපූර් ප්‍රාදේශීය සභා භූමියෙහි පැවැති මැතිවරණ රැලියකටද එක්වූ අගමැතිවරයා, එදින සවස 4.00ට මන්නාරම ජන රැලියක්ද, සවස 6.00ට මනිපායි ආනෛකෝටිටෛ, කාවල්කාඩුහි පැවැති රැස්වීමකටද, රාත්‍රී 8.00ට යාපනය ව්‍යාපාරික හමුවකටද සහභාගි විය.

ඊයේ (03දා) දිනයේදී යාපනය නාග විහාරයේ ආගමික වතාවත්වලට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා

ඉන්පසුව කිලිනොච්චිය, කයිටිස්, චාවකචිචේර්, නෙල්ලිඅඩි ප්‍රදේශවල පැවැති ජනරැලි ඇමතීය.

කිලිනොච්චියේ පැවැති රැලියට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත රාජිත සේනස්නාරත්න, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාතර පී. හැරිසන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයන් සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු රැසක් ඒත්ව සිටියහ.

නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන සහ උතුරු පළාත් සංවර්ධන ඇමතිවරයා වශයෙන් කටයුතු කරන අගමැතිවරයා පසුගිය කාලය තුළදී එම ප්‍රදේශවල නිවාස ඉදිකිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙන බවත්, ඒ සඳහා උතුරු නැගෙනහිර
පළාත්වල දේශපාලන නායකයන්ද සහභාගි කරගන තිබෙන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

මේ අතර යාපනයේදී ඊයේ(03) පැවති රැස්වීම් කිහිපයකට එකතුවෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එක්සත් ජාතික
පෙරමුණේ ප්‍රමුඛ සන්ධානය හෝ ජනාධිපති අපේක්‍ෂක සජීත් ප්‍රේමදාස මහතා උතුරේ කිසිදු දේශපාලන පක්‍ෂයක් සමඟ රහස් ගිවිසුමකට එළඹ නැති බවයි.

තම කණ්ඩායම උතුරේ කිසිදු සංවිධානයක් සමග ප්‍රසිද්ධ ගිවිසුමකට එළඹ නැති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.


අමිත්  මධුරංග