චීනයේ 'වී- චැට්' සමාජ ජාලය ඔස්සේ මහා පරිමාණ මිනිස් ජාවාරමක යෙදුණු චීන ජාතිකයෙකු, කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවත්, පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම පිටුවහල් කළ බව කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑන් ඩොග් (Wang Dong) නමැති 28 හැවිරිදි මිනිස් ජාවාරම්භකරුවෙකි.

ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට සමාන චීනයේ ක්‍රියාත්මක වී - වැට් සමාජ මාධ්‍ය ජාලය හරහා දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් තම ගිණුම වෙත
ආකර්ෂණය කරගෙන ඇති මෙම ජාවාරම්කරු, පසුව එම තරුණියන් චීනය වෙත ගෙන්වාගෙන මෙම මහා මිනිස් ජාවාරම සිදුකර ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හා සමාන චීනයේ ක්‍රියාත්මක වී - වැට් සමාජ මාධ්‍ය ජාලයෙන් චීනයේ සුරූපී තරුණියන් ඡායාරූපය එකතු කර, ඈ ලෙසින් පෙනී සිටිමින්, මෙසේ දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් සමග සම්බන්ධතා ගොඩ නගාගෙන ඇති මොහු, පසුව ඔවුන්ගේ විශ්වාසය පවා තහවුරු කරගෙන ඇත්තේ ඔවුන්ට චීනයේ රැකියා ලබා දෙන බව පවසමිනි. ඔවුන් චීනය වෙත ගෙන්වා ගනිමිනි. ඒහත් ගෙන්වා ගැනීමෙන් පසුව එසේ පැමිණි තරුණියන් මිනිස් ජාවාරම වෙත යොමු කර ගන්නා බව, මෙම පුද්ගලයා සතු ජංගම දුරකථනය ඇසුරෙන් සිදු කරන ලද විමර්ශනවලදී ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබුණි.

ඒ අනුව ගුවන් තොටුපළ පැමිණීමේ ආගමන කවුළුව වෙත පැමිණි විගසම, ඔහු පිළිබඳව ඇති වූ සැකය මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබූ අතර වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොහු ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත්තේ , මෙරට තරුණියන් පිරිසක් මේ ආකාරයට චීනය වෙත රැගෙන යාමට බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් මර්දන ඒකකය සහ කටුනායක ගුවන්තොටුපළ දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරින් විසින් සිදු කර තිබුණි. මෙහිදී කටුනායක ගුවන්තොටුපළ  ආගමන විගමන දෙපාර්තමේන්තු සහකාර පාලක සුජීව රත්නායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත, ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ඩී.එස්.ඒ. දෙහිවත්ත, ටී.එච්.රත්නායක, ආර්.ආර්. ජී.බී.රණසිංහ සහ පී.පී.අලුත්ගේ යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර තිබුණි.

මේ සියලු කරුණු අනාවරණය වීමෙන් පසුව, මෙම චීන ජාතිකයා, ඔහු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි ගුවන් යානයෙම ආපසු අබුඩාබි නුවර වෙත පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීහු පියවර ගෙන තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල