ශ්‍රී  ලංකාවේ ස්විට්සර්ලත්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වෑන රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබීයැයි කියන සිද්ධිය පිළිබඳව පරික්‍ෂණ පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ග්‍රෙගරි පාරේ හා මේඩ්ලන්ඩ් චන්ද්‍රවංක යන මාර්ගවල සවිකර ඇති සීසීටීවී කැමරා ඊයේ (23) පරික්ෂාවට ලක් කළ බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ පෙරවරු 11 වනතෙක් මෙම සීසීටීවී කැමරා පරික්ෂා කළ බව පොලිස් ආරංචිමාර්ග පවසයි. වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද සීසීටීවී කැමරා පරීක්ෂාවට ලක් කළ ස්ථානවලට පැමිණ සිටියේය.

සීසීටීවී කැමරා රැසක් පරික්ෂා කළ ද
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට මෙරටින් බඳවාගනු ලැබූ නිලධාරිනියක් ඉකුත් 25 වැනිදා නිවෙස බලා යද්දී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඇය පැහැරගෙන ගොස් පැය තුනකට ආසන්න කාලයක් එම වෑන් රථයේ රදවාගෙන ප්‍රශ්න කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අගමැතිවරයාට
හා විදේශ කටයුතු ඇමැතිවරයාට කර තිබූ දැනුම් දීමක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබුණි.

ඉන්දිකා රාමනායක