ගම්පහ දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි, හිටපු ඇමැති ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන්
සමුගැනීමට තීරණය කර ඇත.
තරුණ පරම්පරාවට අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවත් ඉකුත් ජනාධිපතිවරණයේදී
එ.ජා.ප. ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලද පරාජයද මෙම තීරණයට හේතු වූ බවද ඒ
මහතා  පැවැසීය.

වසර 41ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්
ලෙස කටයුතු කළ ඒ මහතා 1978දී පළමුවරට එ.ජා.ප.
ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පත්විය. 1967දී පමණ ක්‍රියාකාරී දේශපාලනයට
පිවිසි ඒ මහතා 1978 පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පත් වූ පසු වත්තල  එ.ජා.ප. සංවිධායක
ලෙස පත් කෙරිණි.

නියෝජ්‍ය මුදල් ඇමැති, විදේශ කටයුතු ඇමැති, ස්වදේශ හා පළාත් සභා, නීතිය හා සාමය, ආපදා
කළමනාකරණ, සංචාරක, ඉඩම්, වනජීවී ආදී ඇමැති ධුර රැසක් දරා ඇති ඒ මහතා විපක්ෂයේ ප්‍රධාන
සංවිධායක ලෙසද කටයුතු කළ කෘතහස්ත දේශපාලනඥයෙකි.

දේශපාලනයෙන් සමුගැනීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධව එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට හා
එ.ජා.ප. නායකත්වයට දැනුම්දීමට නියමිත බවද ජෝන් අමරතුංග මහතා තවදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ