https://www.gossiplankanews.com/2019/11/shani-abeysekara-transfered.html
පොලිස් කොමිසන් සභාව මගින් අද  (21) සවස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට හදිසි මාරුවක් ලබාදී ඔහුව ගාල්ලේ  නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස වෙනත් ආකාර තනතුරකට පත්කර යවා තිබේ. ඔහුගේ මාරුවීමට හේතුව කවරක්දැයි මාධ්‍ය වෙත කරුණු නිරාවරණය වී නැත.
 ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය,
කීත් නොයාර්ට  සහ උපාලි තෙන්නකෝන්ට

පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් විමර්ශනය කරමින් සිටි ශානි අබේසේකර සීඅයිඩියේ සිටින දක්ෂතම නිලධාරියෙකු ලෙස පැවසේ.

මින් ඉහත රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් සාර්ථක ලෙස අවසන් කිරීම නිසා ඔහු කීර්තිය දිනූ පුද්ගලයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයෙන් ඔහු අද ඉවත් කරන ලද පසුව එම හිස්තැනට නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න පත් කර තිබේ.
2017 සැප්තැම්බර් මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට ශානි අබේසේකර පත් කර තිබූ අතර ඔහුට එම ධූරයේ වැඩ කළ හැකිවූයේ වසර 2 ක් පමණි.

වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශ අනුව ඔහුව ඉවත් කිරීමට පොලිස් කොමිසන් සභාව ගත් තීරණය අද (21) සවස්වරුවේ පොලිස් මූලස්ථානයට ද යොමු කළ බවද වාර්තා විය.