පාසල් සිසුන්ට රජයෙන් නොමිලයේ ලබාදෙන නිල ඇඳුම් වවුචර් හෝ රෙදි කට්ටල හෝ මෙවර පාසල් වාරය නිමවීමට පෙර ලබාදීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන්
කරයි. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ වේදිකාවේ කියවුණේ නිල ඇඳුම් වව්චර් ක්‍රමය නතර කර නිල ඇඳුම් දෙකක් සඳහා රෙදි ලබාදෙන බවය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවේද වව්චර්පත් හා රෙදිකට්ටල ලබාදෙන බවක් කියවුණු අතර මේ හේතූන් මත අධ්‍යාපන
අමාත්‍යාංශ නිලධාරීන් කිසිදු තීරණයක් ගෙන නොතිබුණු බව ද පැවසේ.

කෙසේ වෙතත් ලබන වසර සඳහා පාසල් සිසුන්ට සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නිල ඇඳුම් රෙදි කට්ටල හෝ වව්චර්පත් හෝ මෙම පාසල් වාරය අවසන් වන විට ලබාදීමේ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි පැවසේ. මේ පිළිබඳව ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ තෙවන පාසල් වාරය අවසන් වීමට පෙර නිල ඇඳුම් ලබාදිමට නොහැකි වී ඇත්තේ බලධාරීන් නියමිත කාලරාමුව තුළ කටයුතු නොකිරීම නිසා බවය.

-රංජන් කස්තුරි-