අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවන්නැයි ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉල්ලීම් කීපයක් ලැබී ඇති අතර මිළග සහා වාරයේදී එය සාකච්ඡාවට ලක්කිරීමට නියමිත යැයි එම කොමිසමේ ලේකම් නිශාන්ත විරසිංහ මහතා  ඊයේ (25) පැවැසීය.

ජාතික පොලිස් කොමිසම අනිද්දා (28),
රැස්වීමට නියමිත බවත් එහිදී මෙම කරුණ ගැන සාකච්ඡා කරන බවත් වීරසිංහ මහතා කීය.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලිඛිතව ඉල්ලීම් කර තිබිණි.

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස සිටි සුදත් නාගහමුල්ල මහතාට උසස්වීමක් ලැබීමෙන් ඇතිවූ පුරප්පාඩුවට එවකට පොලිස් විශේෂ විමර්ශන ඒකකය භාරව සිටි පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතා පත් කරන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුම් දුන් අවස්ථාවේ එම යෝජනාව ප්‍රතිෂ්ප කර ශානි අබේසේකර මහතා එම තනතුරට පත්කරනු ලැබූවේ ජාතික පොලිස් කොමිෂන් සභාව විසිනි.

බිඟුන් මේනක ගමගේ