මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (07) සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්වීම්වලට සහභාගී වී එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහනවලින් ඊයේ (06) රාත්‍රියේ ගමන් කරමින් සිටියදී, වෑන් රථයක් ආරක්ෂක අංශයේ වෑන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩියක ගැටී ඇත.

එම අනතුරත් සමග ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ තරුණයන් පිරිස අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කර පිටව ගොස් ඇත.

ඒ සමග ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් තමන්ට සහ තම මිතුරෙකුට පිස්තෝලයකින් වෙඩි තැබූ බව වෙඩිවැදීමෙන් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රොහලේ නේවාසික ප්‍රතිකාර ලබන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර රෂාන්(22)ප්‍රකාශ කර අතර තලාතුඔය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

එම නිලධාරීන් දෙදෙනා, වෑන් රථය සහ වෙඩි තැබීමට උපයෝගි කරගත් පිස්තෝල දෙක හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.