ආබාධ සහිත පුද්ගලයන්ට බේල් ක‍්‍රමයට ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව තම රජයක් යටතේ ලබාදෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

ශ‍්‍රී ලංකා සහකම්පන සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම නිමිත්තේ ඊයේ (06 වැනිදා) මිරිහාන කාර්යාලයේ පැවැති උත්සවයකදී ගෝඨාභාය රාජපක්‍ෂ මහතා එසේ කීවේය.

මෙහිදි බේල් ක‍්‍රමයට
සහ පටිගත ක‍්‍රමයට සකසන ලද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එම සංවිධානවලට පිළිගැන්වීම ද සිදුවිය.

2007 වසරේ අත්සන් තබන ලද ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය නීතිගත කර ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා බව ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ආබාධ සහිත පුද්ගලයන්ගේ ආරක්‍ෂාව සහතික වන ආකාරයට පදික වේදිකා නිර්මාණය කිරීමටත්, පොදු ස්ථානවලට ප‍්‍රවේශවීමේ පහසුකම් ඇතුළු පහසුකම් සැලසීමටත් එදා පියවර ගත් බව ද ඉදිරියේදී එම වැඩපිළිවෙල අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ වෙනුවෙන් එහි සභාපතිනි රසාංජලී පතිරගේ මෙනවිය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහකම්පන සංවිධානය වෙනුවෙන් එහි සභාපති සුසන්ත වික‍්‍රමසිංහ මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

අනුර බාලසූරිය, ලසිත දුමින්ද