ගිනිගත්හේන පොලිස් වසමට අයත් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදුකිරිමට සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියෙන් ඊයේ (07) අලුයම අත්අඩංගුවට ගත් ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ලබන 11 වැනිදා වනතුරු රිමාන්ඩ් බාරයේ තැබිමට
හැටන් මහේස්ත්‍රාත් සහ අතිරෙක දිසා විනිසුරු ජේ.ස්ට්‍රොක්සි මහතා නියෝග කළේය. කොස්තාපල්වරුන් දෙදෙනා ලබන 11 වැනිදා හඳුනා ගැනීමට ඉදිරිපත් කිරීමට ද නියම කෙරිණි.

ගිනිගත්හේන පොලිසිය මගීන් සැකකරුවන් දෙදෙනා සම්පුර්ණයෙන්ම මුහුණ ආවරණය කර හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට ඉදිරීපත් කර තිබිණි. ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප්‍රදේශයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්වීම්වලට සහභාගි වූ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ද සමග පෙරේදා (06) රාත්‍රී 8ට පමණ ගිනිගත්හේන, පොල්පිටිය
මාර්ගයේ වාහනවලින් ගමන් කරද්දී විවාහ මංගල උත්සවයකට සහභාගි වී නිවෙස් බලා  යමින් සිටි තරුණයන් සිවුදෙනකු රැගත් වෑන් රථයක  පැති කණ්ණාඩිය ඇමැති ආරක්ෂක අංශයට අයත් වෑන් රථයේ ගැටීමෙන් පසු ඇමැති ආරක්‍ෂක අංශයේ නිලධාරින් සහ තරුණයන් පිරිස අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේදී එස්.බී. දිසානායක මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කර ඔහුගේ රථයට ගොඩවී පිටත්ව යෑමෙන් පසුව ඇමැති ආරක්‍ෂක අංශයේ පොලිස් නිලධාරීන් තමාට සහ තම මිතුරන්ට පිස්තෝලයකින් වෙඩි තැබූ බව වෙඩි වැදී තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගිනිගත්හේන, මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර රෂාන් (22) මහතා පැවසීය.

තමන්ගේ දකුණු අතටත් තම මිතුරාගේ වම් පාදයටත් වෙඩි වැදුණු බව කී රවින්ද්‍ර රෂාන් පසුව දෙදෙනාම කිතුල්ගල, වැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තමා  ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලටත් තම මිතුරා වන ගිනිගත්හේන, පොල්පිටියේ පදිංචි චරිත් මධුෂාන් (23) අරවිනැල්ල මූලික රෝහලට මාරුකර යැවූ බවද පැවසීය. මේ අතර වෙඩි තැබීම සිදුකළේ
යැයි කියන ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් තලාතුඔය පොලිසියට ගොස් ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් වාහනය හරස් කර පහර දීමට උත්සහ කළ බවට පැමිණිලි කර තිබිණි.

ඒ අවස්ථාවේ දී ගිනිගත්හේන පොලිසිය තලාතුඔය පොලිසියට කළ දැනුම්දීමක් අනුව තලාතුඔය පොලිසියට පැමිණිලි කිරීමට පැමිණ සිටි ඇමැති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් දෙදෙනා සහ වෑන් රථය අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ සඳහා ඔවුන් ගිහිගත්හේන පොලිසියට බාරදී තිබුණි. ගිනිගත්හේන පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇමැති ආරක්‍ෂක අංශයේ නිලධාරින් දෙදෙනා වෑන් රථයද වෙඩි තැබීමට යොදාගත්තේ යැයි කියන පිස්තෝල දෙකද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය කියයි.

-රංජිත් රාජපක්ෂ-