රටවල් කිහිපයකින් මෙරටට මුදල් ගෙවීම හා එම මුදල් යොදවා කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස ඉඩම් ඇතුළු දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසයන් සිදුකරන  පරීක්ෂණයකට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම  සඳහා එම කොට්ඨාසයට කැඳවා සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය
පොලිස්පති රවී වෛද්‍යාලංකාර
මහතාගේ බිරිය සහ පුත්‍රයා එහි නොපැමිණි බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

වෛද්‍යාලංකාර මහතාගේ බිරිය වන මේරි බැසිලිකා මහත්මිය පෙරේදා (4) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණ ද ඇය නොපැමිණි බව උසස් පොලිස් නිලධාරියක් පැවසීය. ඇයට පැමිණීමට නොහැකි බවට දැනුම්දීමක් හෝ සිදුකර නොමැති බවද ඔහු කීය. මේ අතර වෛද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා වන අසේල ජයම්පති මහතා ඊයේ (5) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණද ඔහු පැමිණ නැත.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ලබාගැනීමට ඒ දෙදෙනා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණද ඔවුන් නොපැමිණි බවත් ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරින් එහි පොස්ට් සටහන් යොදා ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.

වෛද්‍යාලංකාර මහත්මියට ලබන 8 වැනි දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස නැවත දැනුම් දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ දෙදෙනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය 2015 ජුලි මස 29 වැනිදා ආරම්භ කෙරුණු අතර එම විමර්ශනය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් පසුගිය 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇත.


-ඉන්දිකා රාමනායක-