ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් කෑගල්ල නගරයේ අඩ බෙර ගසමින් සහ වීදි නාට්‍යයයක් රඟ දක්වමින් අත් පත්‍රිකා බෙදුවේ යැයි කියන
තරුණයන් පස් දෙනෙකු කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා හමුවට ඊයේ ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීණි.

මෙලෙස ශරීර ඇප මත මුදාහරිනු ලැබුවේ හෙට්ටිමුල්ලේ මීදෙණියේ පදිංචි දියුණුගල්ගේ අනුහස් සුපුන්යර ආරියරත්න (අවු 19)
උඳුගොඩ බොස්සැල්ල පාරමේ පදිංචි රාජපක්ෂගේ පැතුම් ප්‍රියංකාර රාජපක්ෂ (අවු. 18) කුලියාපිටියේ කලවැදිගල්ල පදිංචි වික්‍රමනායක පතිරන්නැහැලාගේ උදිත හර්ෂ වික්‍රමනායක (අවු 21), කුලියාපිටියේ මුරුතලාගල පදිංචි හේරත් මුදියන්සේලාගේ හර්ෂිත සඳරුවන් හේරත් (අවු. 21) හා ඉඟිනිමිටිය, නවගත්තේගම, කුලියාපිටියේ පදිංචි හේරතල් පේඩිගේ මධුමාල් දේශප්‍රිය ආරියරත්න (අවු 22) යන පස් දෙනාය.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් පස්දෙනාගෙන් දෙදෙනකු නොවැම්බර් 07දා කෑගල්ල නිදහස් මාවතේදි පැවැත්වීමට් නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂික ගෝඨාභය රාජපක්ෂ මහතා
සහභාගිවන ජන රැලියට පැමිණෙන ලෙස දන්වා කෑගල්ල නගරයේදී අඩබෙර ගසා ඇති බවත් ඉතිරී තිදෙනා සති පොළ භූමිය අසලදී විදි නාට්‍යයක් රඟ දක්වමින් අත් පත්‍රිකා බෙදාහැර ඇති බවත් පොලිසිය කියයි. මේ පිළිබඳ පසුව කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් වසන්ත වෙල්ගම මහතාට ලද තොරතුරකට අනුව කෑගල්ලට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යන මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සදීර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානවලට ගොස් තරුණයන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් තරුණයන් පස්දෙනා හා දවුල් බෙර දෙක කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඊයේ ඉදිරිපත් කෙරීය.එහිදි තරුණයන්ට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා අඬබෙර දෙක රුපියල් 50,000ක බැඳුම්කරයක් මත මුදාහැරීමටද නියම කළේය.මෙම නඩුව 2020 මාර්තු 15 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි. කෑගල්ල මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

-චමින්ද වැවතැන්න-