https://www.gossiplankanews.com/2019/11/president-give-pardone-for-royal-park-murder.html
2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි තරුණියකගේ ගෙල සිර කර මරා හිස කුඩු කර පසුව ඉහළ සිට තල්ලුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නැමත්තාට ඊයේ (09) ජනාධිපති සමාව ප්‍රදානය කර තිබේ.
කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව ඊයේ සවස ඉන් පිටව ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ඝාතකයා වරද සිදු කළේ නොදන්නා 19 වයසේදී බවත් දැන් වයස 33 ක්වී තිබෙන ඔහු ආචාර්ය උපාධිය පවා සම්පූර්ණ කර තිබෙන අනාගතයක් ඇති තරුණයෙකු බවත් ඒනිසා තමාගේ පදවිය අහවරවන්නට පෙර
සමාව දෙන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මීට සති කිහිපයකට පෙර ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණි. අනතුරුව එය කණවැකීමෙන් කලබලයට පත් වින්දිත පාර්ශ්වය නියෝජනය කරන මියගිය ඉවොන්ගේ සොයුරිය ජනපතිගේ ප්‍රකාශය හෙළාදකිමින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කළාය. ඇය පවසා සිටියේ ඉහළ පැළැන්තියට අයත් ශ්‍රමන්ත ජූඩ්ගේ පවුලේ අය මුදල් විසිකර ඔහුව බේරාගෙන ඇති බවයි.
මෙම කුරිරු මිනීමැරුම සිදුකර ඔහුට සිරගතව සිටින්නට සිදුවූයේ වසර හතරහමාරක් පමණි.

මියගිය ඉවොන්ගේ සොයුරිය කැරොලින් සහ ඝාතක ශ්‍රමන්ත ජූඩ් අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර 2005 වසරේ ජුනි මස දෙදෙනා අතර ආදර ගැටලුවක් පැනනැගී තිබේ. මෙම ගැටලුවට මුල මියගිය ඉවෝන් සොයුරියට කේලාම් කීමක් යයි සැක කර තිබෙන ශ්‍රමන්ත ජූඩ් අධික කෝපයෙන් යුතුව ඇයව මරා දමා ඇත්තේ අමානුෂික

ආකාරයටය.
රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ  23වන මහලේ සිට ලුහුබැඳ ඇයව බිම දමා ගෙල සිරකර ඇයගේ හිස්කබල කුඩුවනතුරු සිමෙන්ති පොළවට ඇයගේ හිස ඇන තිබෙන ශ්‍රමන්ත පසුව ඇය ඉහළ සිට වැටී මියයාමක් යයි අඟවන්නට ගොඩනැගිල්ලෙන් තල්ලු කර තිබේ.ඇයගේ සිරුර හමුවන්නේ 19 වෙනි මහලෙන් බව පොලිස් වාර්තාවල දැක්විණි.

අධිකරණයේදී හෙළි කළ පශ්චාත් මරණ වාර්තාවට අනුව ඇයගේ හිස්කබල කෑලි 64කට කුඩු කර තිබූ බව වාර්තාවිය. මෙතරම් අමානුෂික ඝාතනයක් සිදු කළ ශ්‍රමන්ත ජූඩ්ට මෙම ඝාතන සම්බන්ධයෙන් දීර්ඝ නඩු වාරවලින් අනතුරුව වරදකරුකොට 2012 වර්ෂයේදී කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී. ඔහු එයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණත් 2014දී අභියාචනාධිකරණය මරණ දඩුවම නැවත ලබාදුණි.සීසීටීවී දර්ශන පවා නැති කාලයක දක්ෂ නීතීඥයින්ගේ සියුම් තර්ක හමුවේ ඝාතකයාට මරණ දඩුවම ස්ථිර කරන්නට හැකිවීම ගැන ඒ දිනවල මාධ්‍ය තුළ ප්‍රශංසා ලිපි පළ විය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මිනීමරුවාට සමාව දෙන්නට යන බව ප්‍රකාශ කිරීමෙන් පසු
මේ පිළිබඳව සිය මුහුණු පොතේ ගිණුමට ප්‍රකාශයක් කරමින් මියගිය ඉවෝන් ජෝන්සන්ගේ සහෝදරිය වන කැරොලින් ජොන්සන් පවසා තිබුනේ වූදිතයා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඔහුගේ පවුලේ උදවිය බලය හා මුදල් යොදා ගනිමින් සිටින බවයි.
මෙවැනි දෙයක් තමන්ගේ පවුලට, සහෝදරියට, හෝ වෙනත් අයෙකුට සිදුවන්නේ නම් එය කෙසේ දැනේවිදැයි කැරොලින් එහිදී ප්‍රශ්න කර තිබුණි. එම සටහන මෙසේය.

'අපගේ පියා ස්වීඩන ජාතිකයෙක් උනත් මගේ මව ශ්‍රී ලාංකිකයෙක්. අපි හැදුනෙ වැඩුණෙ කොළඹ.
2005 දී කොළඹදි සාහසික ලෙස ඝාතනය උනු 19 හැවිරිදි මගේ සොයුරියගෙ පුවත ඔබ අසන්නට දකින්නට ඇති. මගේ සහෝදරිය ඉතාමත් සතුටින් ජීවිතය ගත කරපු තරුණියක්. අනික් හැම තරුණියක්ම වගේ හීන සහ බලාපොරොත්තු වලින් පිරුණු සමීප විශ්වාසවන්ත යහළු

යෙහෙළියන් සමඟව ඉතාම සමීපව ජීවිතය ගෙවපු, ඔවුන් ගැන සොයා බලපු ආදරණීය චරිතයක්. ඇය මෝස්තර නිර්මාණය පිළිබඳව හදාරමින් උන් සිසුවියක්, ඇය ඉතාමත් හොඳ සොයුරියක්.

මෙය හදිසි කෝපය නිසා සිදුවූවක් නෙවෙයි. මෙය සිතාමතා කළ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්. මේ ඝාතකයාට ඔහුගේ චරිතය සම්බන්ධව ඉතිහාසයක් තියෙනවා ඔහුගේ පාසල් සමයේ සිටම.
වසර 15ක් පුරාවට අපි යුක්තිය වෙනුවෙන් අයදිනවා.

ඔහුගේ පවුල ඉහළම තැන් වලට අල්ලස් දීම මගින් ගැලවීමට තැත් කරද්දී අප යුක්තිය වෙනුවෙන් වසර 15ක් පුරා සටන් කරනවා. මුදල වෙනුවෙන් ඝාතනයක් යටපත් කරන්න උත්සහ දරන පුද්ගලයන්ට ඔබ ලබාගත්තේ ලේ තැවරුණු මුදල් බව මම මතක් කරනවා.
අද වෙනතෙක් ඔහු තමන්ගේ තිරිසන් හැසිරීමට සමාව අරන් නෑ.
මේ තීන්දුව අප බලාපොරොත්තු නොවූවක් නොවේ. ධනය-බලය-සබඳතා හරහා ඔහු නිරන්තරයෙන් යුක්තියෙන් ගැලවීමට උත්සාහ දරමින් හිටියා. මම මෙහිදී වඩාත් විමතියට පත්වන්නේ ජනාධිපතිවරයා කරන විකරරූපී කරුණු දැක්වීම ගැනයි. තමන්ගේ සොයුරියට මේ දේ සිදු උනා නම් ප්‍රතිචාරයද මෙයමද කියලා හිතා බලන්න මම ආරාධනා කරනවා.'