කළුතර පොතුපිටියේ සරචාරක හෝටලයක් මුවාවෙන් පවත්වාගෙන යන සුනඛයන් ඇතිකරන මධ්‍යස්ථානයක් හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි අපහසුතාවකට පත්ව සිටින බවට මැසිවිලි නගති.

මේ හේතුවෙන් අවට පදිංචි දරුවන්ගේ අධ්‍යපන කටයුතුවලට මෙන්ම රාත්‍රි නින්දට බාධා පැමිණි ඇති බවද, වෙරළ තීරයේ ගමන් කරන. විදෙස් සංචාරකයන්ට හා ධීවරයන්ටද මෙම සුනඛයන් බුරා පනින බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

පොතුපිටිය මුහුදු වෙරළ ආසන්නයේ රාජ්‍ය නොවන සංවිධානයක ආධාරයෙන් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානය, ප්‍රධාන දොරටුවේ සංචාරක හෝටලයක් ලෙසින් පුවරුවක් යොදා තාප්පවලින් වටකර ගේට්ටු වසා සුනඛයන් ඇති කරන්නක් වන අතර මුහුදු වෙරළ තීරය දෙසින් නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ සුනඛ කුඩු20ක් සකස් කර ඇති බවයි.

හෝටල් සේවකයකු පැවසුවේ එකවර සුනඛයින් 70ක් පමණ බිරීම හේතුවෙන් සංචාරකයන් හෝටල්වල රැඳී සිටීමට පවා මැලිකමක් දක්වන බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක රොෂාන් ගුණසිංහ මහතා,
"මෙම සුනඛයන් දැඩි හිසරදයක් බවට පැමිණිලි ගණනාවක් ලැබී තිබෙනවා. ඔවුන්ට මේක ඉවත් කරගන්න  මාස තුනක් කල් ලබාදුන්නා.

ඔවුන් මාස හයක් ඉල්ලා සිටියා. රාත්‍රියට හම් මුඛවාඩම් යොදා හෝ සුනඛයින්ගේ බිරීම නැවැත්වීමට පිළියමක් යොදන ලෙස උපදෙස් දෙනු ලැබුවා. දඩාවතේ යන සුබයට මෙමහින් රැකවරණය ලබාදීමක් සිදුකරන බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් එම ආයතනය ලියාපදිංචි කර නැහැ". යනුවෙන් ද පැවසීය.


අලුත්ගම තුසිත කුමාර ද සිල්වා