පරිසර ආරක්ෂාව හා පරිසර අලංකරණය විධිමත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නිශ්චිත උපදෙස් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ අනුව මූලිකව ශ්‍රී ලංකා පොලීසියේ පරිසර දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ වූ බවත්, පරිසර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටත් හා පාරිසරික කොට්ඨාසය භාර අධ්‍යක්ෂකවරයෙකු යටත් මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණ්‍යසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් මෙසේ සදහන් වේ.
සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකය ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කෙරුණි. ඒ අනුව පොලිස් ස්ථානයන්හි ස්ථාපිත පාරිසරික ඒකක
අධීක්ෂණය කිරීම් සදහා සහකාර පොලිස් අධිකාරීවරුන් සිවුදෙනෙකු පත්කිරීමසට නියමිතව තිබේ.

පසුගිය 22 වැනි දින මෙම ක්‍රියාවලිය එනම් පරිසර ආරක්ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කරමින් දැනට  කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියලු කළමනාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳ වූ අතර, අනෙකුත් කරුණුවලට අමතරව ඔවුන්ට උපදෙස් ලබාදෙන ලදී.

දෛනිකව අලුයම 5.30 වනවිට පවිත්‍රතා කටයුතු ආරම්භ කළ  යුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවටය.

මීට අමතරව පොලිස් ස්ථාන පාරිසරික ඒකකයන්හි නිලධාරින් සෑම මාර්ගයකම යොදවමින් කොළඹ මෙම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි පරිසරයට හානිවන ස්ථාන සහ ක්‍රියාවන් නිරීක්ෂණය කිරීම සිදුකෙරේ.

තවද, එහිදී එම නිලධාරින් පරිසරය සුරැකීමට අදාළව මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙන අතර, පරිසරය ආරක්ෂණය සඳහා වැදගත් වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සම්බන්ධීකරණය කිරීමද සිදුකරනු ලබයි.

පරිසර ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන රැසක් ඇති අතර, ඉන් කිහිපයක් පහත පරිදී වේ. දණ්ඩ නීති සංග්‍රහය ජාතික මං මාවත් පනත පොලිස් ආඥා පනත ජාතික පාරිසරික පනත ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ පනත ගොවිජන සංවර්ධන පනත මහ නගර සභා ආඥා පනත වෙරළ සංරක්ෂණ පනත .

කෙසේ වෙතත් මෙහිදී මූලිකව බලාපොරොත්තු වනුයේ බලධාරී ආයතන සම්බන්ධීකරණය කරගනිමින් මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සාමුහිකව ක්‍රියාකරමින් පරිසරය සුරක්ෂා කිරීමය.

බස්නාහිර පළාතේ සෑම පොලිස් ස්ථානයකම පාරිසරික ඒකකවල ස්ථානාධිපතිවරුන් ඊයේ (24දා) කොළඹට කැඳවා ඉදිරි කාලය තුළදී පාරිසරික ආරක්ෂාව පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව උපදෙස් ලබාදීමද සිදුකළ අතර, එහිදී, පාරිසරික නිලධාරීන් නිල ඇඳුමට පලදින ජැකට්ටු (Jacket) බෙදා දීමද සිදුවිය.

එමෙන්ම අද (25දා) දින පාරිසරික කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් හා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික ප්‍රමාණයක් යොදවා වෙරළ තීරය පිරිසුදු කිරීම් ක්‍රියාන්විතයක්ද සිදුකිරීමට නියමිතය.

පරිසරය ආරක්ෂක්ෂා කිරීම පිළිබඳව මහජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා දිවයින පුරාම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිර්මටද නියමිත අතර, එහිදී ප්‍රජා පොලිස් කමිටු හරහාද මහජනතාව දැනුවත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඊයේ (24දා) සිටි ප්‍රජා පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් , පාරිසරික ඒකකයන්හි පොලිස් නිලධාරීන්ද සමග එක්ව මෙම දැනුවත් කිරීමේ වැඩමුළු ආරම්භ කෙරුණි.

එමෙන්ම ඒ ඒ ප්‍රදේශවල පළාත් පාලන ආයතන ඇතුළුව පරීසර ආරක්ෂාව හා සම්බන්ධිත ආයතන සමගම සාකච්ඡා කර මීට පෙර පරිසර ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාත්මක වූ ආකාරයට අදාළ කටයුතු සිදුකිරීට නියමිතව තිබේ.

දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයක්ෂම භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් අධිකාරීවරුන් පෙරේදා (23දා) පොලිස් මූලස්ථානය වෙත කැඳ වූ අතර, එහිදී පාරිසරික ආරක්ෂණයට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස්පතිතුමා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මේ සමස්ත ක්‍රියාන්විතයේ ප්‍රතිඵලය ලෙසට අපේක්ෂා කරනු ලබනුයේ පරිසරය සුරැකි අලංකාර වූ ශ්‍රී ලංකාවක් බිහිකිරීම් සහ  එමගින් සුරක්ෂිත වූ රටක් ඇති කිරීමය. එබැවින් මේ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසට මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටී.

එච්.අයි. තුෂාර