වැලිගෙපොල තලගස්කන්ද සෙනෙවිගම ප්‍රදේශයේ පාළු වාඩියක් තුළ වැටි සිටි කාන්තාවක් ඉකුත් 23 වැනිදා පොලිස් නිලධාරින් විසින් රෝහල්ගත කිරිමෙන් පසුව ඉකුත් (27) දින අභිරහස් ලෙස මියගොස් ඇති බව
වැලිගම්පොල පොලිසිය කියයි.  මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල බෝගොඩ ප්‍රදේශයේ පදිංචි කලංචි දේවගේ මාලනී නමැති පනස් පස් හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි. නාඳුනන කාන්තාචක් පාළු නිවෙසක් ඉදිරිපිට වැටී සිටින බවට 119 පොලිස් හදිසි අංශයට ලද තොරතුරක් මත එම කාත්තාව
පොලිස් නිලධාරින් හා ප‍්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකළ බව පොලිසිය කියයි.

සුවසැරිය ගිලන් රථයෙන් එම කාන්තාව රැගෙන ගොස් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම කාන්තාව රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම කාන්තාව පසුගිය 18 වැනිදා රාත්‍රියේ පල්ලේබැද්ද නගරයේ සිට බලංගොඩ දක්වා දිවෙන මගී බස් රථයකින් පැමිණ තලගස්කන්ද ප්‍රදේශයෙන් බැස ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

එදින සිට පසුගිය 23 වැනිදා දක්වා දින ගණනාවක් මෙම කාන්තාව නැවැතී සිටි ස්ථානයක් ගැන කිසිම තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීම සැකයට භාජනය වී ඇතැයි පොලිසිය පවසයි.  මෙම කාන්තාවගේ පුත්‍රයකු එම කාන්තාව වැටී සිටි වාඩියට මිටර් තුන්සියයකට පමණ ආසන්නයේ පදිංචි සිටින බවත් දින ගණනාවකින් මෙම කාන්තාව එම නිවෙසට පැමිණ නොමැති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මියගිය අයගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොතිබුණත් වෙන යම් ස්ථානයක දී කළ පහරදීමක් සිදුකර එම ස්ථානයට ගෙනවිත් දැමූ බවට
සැක කරන බව පොලිසිය කියයි. මියගිය කාන්තාව වැටී සිටි ස්ථානයට මිටර් විස්සක පමණ දුරකින් නිවෙසක් පිහිටා ඇති බවත් එහි  ගෙහිමියන්ට මෙම කාන්තාව වැටී සිටි ස්ථානයෙන් කිසිම හඩක් ඇසී නොමැති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම කාන්තාව වැටී සිටි වාඩිය තුළ පැදුරක්, රෙද්දක්, අත් බෑගයක්, ගැහැණු පාවහන් යුගළක් තිබී සොයා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.මෙම ස්ථානයට පැමිණ රත්නපුර පොලිසියේ අපරාධ ස්ථාන පරික්ෂා කිරිමේ ඒකකයේ උපපොලිස් පරීක්‍ෂකවරුන් වන ඒ. නන්දසේන, එම්. වටගමුව යන නිලධාරීහු පරික්‍ෂණ පැවැත් වූහ.

-රෝහණ සමරවීර-