එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් වශයෙන් ගෙන්වා ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන ආකාරය සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙයැයි එම ප‍්‍රක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (27දා) පැවසීය.

ඒ අනුව එහි පළමු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඒජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ පැවැත්වුණු බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

පැය 02කට අධික කාලයක් පැවැති එම සාකචිඡාවේදී ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධව දීර්ඝ සමාලෝචනයක් සිදුකර තිබෙන අතර, පරාජයට හේතු වූ කරුණු කිහිපයක් සම්බන්ධව විශේෂ අවධානය සියොමු වී තිබේ.

නායකත්වයෙන් ඉවත්ව යාමට සුදානම් යැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසීය.

මංගල සමරවීර හා රන්ජන් රාමනායක යන මන්ත්‍රීවරුන් බෞද්ධ භික්ෂුන් වහන්සේග්ලාට විරුද්ධව අදහස් පළ කර තිබීම හේතුවෙන් ජනාධිපතිවරණයේදි ඡන්ද ලක්ෂ 10ක් අහිමි වූ බවට පැහැදිලි වූ බවද හෙතෙම අවධාරණය කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම් සඳහා වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙන බවත්, එම කටයුතු පමාවකින් තොරව සිදුකරන බවට දැනුම් දුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ආශු මාරසිංහ මහතා,
"පක්ෂයේ අනාගතය, ඉදිරි අනාගතය ගැන සාකච්ඡා කරන මෙම කණ්ඩායම් රැස්වීම කැඳවා තිබුණේ. ජනාධිපතිවරණයේදී අපි ලබාගත් ප්‍රතිඵලය සංසන්දනාත්මකව අධ්‍යයනය කළා, ඒ හරහා අපි සැලසුම් හදනවා, අපි දිනපතා රැස්වෙලා විපක්ෂය හැටියට ඉදගෙන ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කරන්න වැඩකර ගෙන යනවා, අපට නැති වී ගිය ඡන්ද ටික නැවත ලබාගන්නා ආකාරය ගැන මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

අපෙන් සිංහල බෞද්ධ පදනම ගිලිහී ගියා. ඒ සම්බන්ධව අපි සාකච්ඡා කළා. මංගල සමරවීර හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ නිසා අපෙන් ඡන්ද ලක්ෂ 10ක් පමණ නැති වී තිබෙන බව පැහැදිලි වුණත්, මේ කාරණා හරියට අධ්‍යයනය කරලා අනාගතයේ සැලසුම් හදන්නේ, සාකච්ඡා කරන්නේ. එය ප්‍රතිසංවිධානය කරන්නේ කොහාමද කියලා සාකච්ඡා කළා.

අපි පක්ෂයක් විදියට එක්සත්ව එකමුතුව ඉදිරියට යන්න සැලසුම් හදමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂය පරාජයන් විද දරාගෙන  නැගිටින පක්ෂයක්. ඒ නිසා සියලුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලන්නේ අපි එක්ව ඉදිරියට යද්දි ඔබ නොසැලී සිටින ලෙසයි" යනුවෙන් පවසා සිටියේ.

මෙම සාකච්ඡාව ගැන අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම මහතා,
"ගෝඨාභය රාජපක්ෂ විසින් නැති අර්බුදයක් නිර්මාණය කරලා පන්සල් හරහා ජනතාව නොමග යැවීම නිසා අපි පරාද වුණු බව සාකචිඡාවේදී පැහදිලී වුණි, ඒ මවාපාන අර්බුදයට අපේ පැත්තෙනුත් උඩගෙඩි දීමක් සිදුව තිබෙනවා. ඒ ගැන තුට්ටු දෙයකට මායිම් නොකර කටයුතු කිරීම
පරාජය වීමට හේතුවක් බව පෙනී ගියා. විද්වතුන් පිරිසක් පැමිණ රූපසටහන් සහිතව ඒ බව විග්‍රහක් සිදුකළා. මෙම පරිසරය තුළ අනිවාර්යයෙන්ම අපේ පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුත්තක් සිදුවිය යුතුයි,
පරාජය වීමට තවත් හේතුවක් තමයි අපේ අපේක්ෂකයාට අවශ්‍ය ශක්තිය ලබාඹනොදීම. ඒ නිසා එය නිවැරදි කළ යුතුය යන ස්ථාවරයේ අපි ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී දැඩි කාර්යභාරයක් ඉටුකළා. ඔහුගේ තිබන ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ. ඉදිරියේදී ඔහුට කටයුතු කිරීමට අවශ්‍ය සියලු පසුබිම සකස් කළ දිය යුතුය යන ස්ථාවරයේ අපි ඉන්නවා. පක්ෂය තුළ ලොකු ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුයි. පාක්ෂිකයන් හා අපේ මතය සියලු දෙනා අයින් වෙලා අලුත් මුහුණුවරක් ගත යුතුයි" යනුවෙන් සඳහන් කර සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එහිදී අදහස් දැක්වමින් පවසා සිටියේ,
"එක්සත් ජාතික පක්‍ෂයට පත් වුණේ මොනවගේ පරාජයන්ද, දිස්ත්‍රික්ක වශයෙන් අපි පසුබෑමට ලක්වුණේ කොයි ආකාරයටද, කොයි ආසනවලද. ප්‍රතිශතයක් විදියට රට තුළ එක්සත් ජාතික පෙරමුණට ඡන්ද ප්‍රකාශ වූ ප්‍රමාණය, එම ඡන්ද අඩුවීමට හේතුව මොකද2015 මැතිවරණයේදී ඇති වූ ප්‍රගතිය හා මේ මැතිවරණයේදී ප්‍රගතිය සමාලෝචනය කරලා ප්‍රතිඵලයක් නොලැබුණේ කුමන කරුණක් නිසාද කියලා දීර්ඝ සාකච්ඡාවක යෙදුණ.

එ.ජා.ප.ය හැටියට ඉදිරී වැඩපිළිවෙළ මහලේල්කම් අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡා කරලා ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලැබුණා” යනුවෙනි.

මෙම සාකච්ඡාව සඳහා එ.ජා.ප.ජාතික සංවිධායක නවීන් දිසානායක, අජිත් මාන්නප්පෙරුම, තිලක් මාරපන,වඩිවේල් සුරේෂ් ආනන්ද කුමාරසිරි, පාලිත රංගේ බණ්ඩාර, අනෝමා ගමගේ, කේ.කේ. පියදාස,පාලිත තෙවරප්පෙරුම, කාවින්ද
ජයවර්ධන, විජේපාල හෙට්ටිආරච්චි, භූෂණ රාජකරුණා, තුෂාර ඉදුනිල් කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ යන මහත්වරු එක්ව සිටියහ.

අමිත් මධුරංග