තමන්ගේ කැමැත්තක් නොමැතිව තම පෙම්වතා තමන්ව බලෙන් දූෂණයට ලක්කළා යැයි පවසමින් බොරලැස්ගමුව පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කළ බව කියන
තරුණියකට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොළ මහතා බොරලැස්ගමුව පොලිසියට නියෝග කළේය.

මෙකී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ බොරලැස්ගමුව පොලිසිය ඉහත කී පෙම්වතා පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද අනාවරණය වෙයි.

එහිදී මෙම පෙම්වතා පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඉහත කී පැමිණිලිකාර තරුණිය හා තමා
දුරකථන ඇමැතුමක් මඟින් දැනහඳුනාගෙන පෙම්වතුන් වශයෙන් කලක් ඇසුරු කළ බව පවසා ඇති බවද
අධිකරණයෙන් වාර්තා විය.

තමන් දෙදෙනා එසේ පෙම්වතුන් වශයෙන් ඇසුරු කරමින් සිටින අතරතුරදී ‘අපි දෙදෙනා පැනලා යමු’
යනුවෙන් එකී පෙම්වතිය තමන්ට යෝජනාවක් කළ නමුත් තමන් එයට අකැමැතිවීම නිසා කෝපයට පත් ඇය
තමන්ට එරෙහිව එසේ අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවද තමන් අතින් ඇයට එවැනි කිසිදු අතවරයක් සිදුනොවූ බවද ඔහු සිය ප්‍රකාශය ලබාදෙමින් පොලිසිය වෙත පවසා තිබේ.

ඉහත කී පෙම්වතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති පොලිසිය පැමිණිලිකාර තරුණියට අතවරයක් සිදුව ඇතැයිද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ඇයව කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර ඇති නමුත් ඇය එවැනි දූෂණයකට ලක්වීමක් සිදුව නොමැති බව එකී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙකී සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත්
මහෙස්ත්‍රාත්වරයා පොලිසිය හා අධිකරණය නොමඟ යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එකී පැමිණිලිකාර
පෙම්වතියට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසද එසේ නියෝග කළේය.

බොරලැස්ගමුව පොලිසියේ සැරයන් ඉන්දික (3331), කොස්තාපල්වරුන් වන බුද්ධික (88112) හා සම්පත්
(2600) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.

කුමුදු උපුල් ශාන්ත