පළමු රාජ්‍ය චාරිකාවට එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ළගාවුණා. එහිදී ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණා. සාමාන්‍ය මගියෙකු ලෙස ජනාධිපතිතුමා ගුවන් ගමනට එක්වීම විශේෂත්වයක්.

ජනාධිපතිතුමා කටුනායක
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණෙන අවස්ථාවේ මාර්ගය වසාදමමින් අනෙක් රථවාහනවලට ගමන් කිරීම සදහා බාධා පැමිණවීමක් ද සිදුවූයේ නැහැ.

සාමාන්‍ය ගුවන් මගීන් ගමන් ගන්නා පර්යන්තයෙන් ගුවන් මගියෙකු ලෙස ජනාධිපතිතුමා ගුවන් ගමනට එක්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයකට අනුවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙදින රාජ්‍ය චාරිකාවට එක්වුණේ. මෙම චාරිකාවේදී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ග් මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.

ජනාධිපතිතුමා සෙසු ඉන්දීය ප්‍රභූවරුන්ද මුණගැසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්වුණා.