https://www.gossiplankanews.com/2019/11/german-tec-lecturer-death.html
තුරුදන්ව සිටි රත්මලාන ජර්මානු කාර්මික විදුහලේ කථිකාචාර්යවරයකුගේ සිරුර කුලියාපිටිය, මැටිබොක්කවත්තේ පිහිටි ඔහුගේම පොල් ඉඩමක වළ දමා තිබියදී කුලියාපිටිය පොලිසිය විසින් පෙරේදා (05 වැනිදා) සොයාගනු ලැබ ඇත.
මෙලෙස සොයාගෙන ඇත්තේ මඩකුඹුරුමුල්ල, මැටිබොක්කවත්තේ
පදිංචිව සිටි බන්නැහැක

මුදියන්සේලාගේ නන්දික මහින්ද බස්නායක නම් කථිකාචාර්යවරයාගේ මළ සිරුරයි. මියගිය පුද්ගලයාගේ මව විසින් පසුගිය සඳුදා (4 වැනිදා) තම පුතාගේ යතුරුපැදිය තම වත්තේ ගේට්ටුව අසල නවතා ඇතිමුත් පුතා නොමැති බවට කුලියාපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි.

 ඒ අනුව අක්කර 16ක පමණ විශාලත්වයෙන් යුත් පොල් ඉඩම පරීක්ෂා කිරීමේදී පස්වලින් වසා තිබූ වළක තිබී සිරුර සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. සිරුර ගොඩගන්නා විටදී එම වළෙහි තිබී පොල්තෙල් බෝතල්, පහන් වැටි ඇතුළු පූජා භාණ්ඩ සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මියගිය පුද්ගලයා පැලඳ සිටි රන් ආභරණ අතුරුදන්ව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ කථිකාචාර්යවරයාට ඉඩම් ආරවුලක්ද තිබූ බවයි. වැඩිදුර විමර්ශන කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන් සිගේරාගේ අධීක්ෂණයෙන් කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාමල් පෙරේරා, උප පොලිස් පරීක්ෂක චතුරංග ප්‍රේමරත්න විසින් සිදුකරයි.

හේමන්ත ලියනපතිරණ/ තිළිණි පවිත්‍රා අධිකාරි -පන්නල