ගණේමුල්ල, කොස්සින ප්‍රදේශයේදී ඉත්තෑවකු අල්ලා ගැනීමට ගලක් තුළට ඇතුළු වූ පුද්ගලයකු අඩි 15ක පමණ දුරකට ගොස් සිරවී මියගොස් සිටියදී මහත් පරිශ්‍රමයක් දරා ඊයේ (19) දහවල් ගොඩ ගැනුණි.කඩවත
ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අජිත් වර්ණකුලසූරිය නමැති විවාහක පුද්ගලයකු මෙම සිද්ධියට මුහුණපා ඇති බව ගණේමුල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් සිටි පුද්ගලයා කොස්සින්න ප්‍රදේශයේ වැඩබිමක සේවය කරමින් සිට ඇති බැවින් මොහු එහි වැඩකරන දෙදෙනකු සමඟ පෙරේදා (18) රාත්‍රි 11 ට පමණ මහමග යමින් සිටියදී ඉත්තෑවකු දිවයන දැක ඒ දෙසට ගොස් ඇතැයි කියති.

නමුත් ඔහු පසු දින උදෑයස වනතෙක් ආපසු නොපැමිණිම නිසා වැඩබිම හිමිකරු දැනුවත් කොට එම ස්ථානයට ගොස් බැලීමේදී ඉත්තෑ ගුල තුළ විදුලි පන්දම් එළියක් දැක පොලිසිය දැනුවත් කිරිමෙන් පසු මොහු එළියට ගැනීමට පියවර ගෙන ඇත. මේ සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේද සහාය ඇතිව අඩි 15 ක පමණ දුරක් ගුල හාරා ඊයේ දහවල් 12 ට පමණ ඔහුගේ මළ සිරුර සොයාගෙන ඇත.

එම සිරුර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත  යැවීමට ගණෙමුල්ල පොලියිය පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ගනේමුල්ල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.එම්. දේවප්‍රිය මහතාගේ උපදෙස් පරිදි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.වයි. නාලක මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.