ගනේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් ඝාතනය කළ සැකකරු ගනේමුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (07දා) නියෝග කළේය.

මෙලස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, හොරගොල්ල ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජිත් ප්‍රේමලාල් සිල්වා නමැත්තෙකි.

සැකකරු සහ ඝාතනයට ලක්වූවන් අතර දීර්ඝකාලීනව
පවතින ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර සැකකරුද මෙම ඝාතනය තමන් විසින් සිදුකරන ලද්දක් බව පොලීසියට තහවුරු කර ඇත. ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

මෙලෙස ඝාතනයට ලක්වූයේ ගනේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේදී සේනාධිගේ ජෝශප් සිල්වා (අවු.72) හා එස්. මාලනි සිල්වා (අවු.63) නමැති අඹු සැමි යුවළයි. ඒ අනුව පෙරේදා (06දා) රාත්‍රියේ ඝාතනයට ලක්වූ මරණකරුවන් සම්බන්ධයෙන් එදිනම රාත්‍රියේදී ගනේමුල්ල පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ඊයේ (07දා) පැවැත්වූ අතර, පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීම සඳහා මෘත දේහයන් ගම්පහ මහ රෝහලට රැගෙන යන ලෙසට පොලීසියට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ගම්පහ - ටෝනි කරුණානායක / කැලණිය කලිඳු පන්සිළු