උතුරේ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් 13 හමුවේ ඇතැම් ජනාධිපතිධුර අපේක්ෂකයන් මුනිවත රැකීම නැතහොත් රහසේ එකඟ වීම සිංහලයාගේ අසරණ භාවය ප්‍රකට කරන හා රටේ අනාගතය ගැන බිය උපදවන්නක් බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සාමාජික තෛ්‍රනිකායික මහ සංඝරත්නය ප්‍රමුඛ ගිහි සාමාජිකයෝ නිවේදනය කර සිටිති.

ශ්‍රී  ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදා කර ගැනීමට මහ නායක මාහිමියන් වහන්සේලාගේ
පුරෝගාමීත්වයෙන් හා සෙසු ආගමික පූජා ප්‍රසාදීන්ගේ හා පූජකවරුන්ගේ ඒකමතිකත්වයෙන් ඉදිරිපත් කරන
ලද නිර්දේශවලට අවධානය යොමු කර ඇත්තේ, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය
රාජපක්ෂ, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක  අනුර කුමාර දිසානායක හා ජනාධිපතිවරයා
පමණකැයිද ඔවුහු සඳහන් කර සිටිති.

ශ්‍රී  ලංකා අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි,

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමි, තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි, ආචාර්ය වැලමිටියාවේ
කුසලධම්ම නාහිමි, දිවියාගහ යසස්සි හිමි, ආචාර්ය බළන්ගොඩ සෝභිත නාහිමි හා මහාචාර්ය අගලකඩ
සිරිසුමන හිමි ඇතුළු පැවිදි ගිහි 32 දෙනකුගෙන් සමන්විත විද්වතුන්ගේ අත්සනින් යුතුව මේ පිළිබඳ නිවේදනය
ප්‍රකාශයට පමුණුවා තිබේ.

“දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේද සහභාගිත්වයෙන් පසුගිය කාලයෙහි නිර්මාණය
කරන ලද රජයේ ව්‍යවස්ථා යෝජනා අඩංගු අතුරු වාර්තාව හා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් අතර
සහ සම්බන්ධතාව දැන් මැනවින් පැහැදිලි වී ඇතැයි ද එම නිවේදනයන්හි දැක්වේ.

පහත සඳහන් කරුණු ද එහි අවධාරණය කර තිබේ.

මේ සිංහල බෞද්ධ රටේ සිංහලයන් අද අසරණව බෞද්ධ අයිතිවාසිකම් ද අහිමිව දුක්ඛිතව වාසය කරන්නේ
බලලෝභී දේශපාලකයන්ගේ අදූරදර්ශී පාලනය නිසා බවද එහි දක්වා තිබේ.

දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් පිළිගැනීම, උතුරු හා නැඟෙනහිර දෙපළාත් ඒකාබද්ධ කොට එම
කලාපයන් දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජ භූමිය ලෙස පිළිගැනීම, දෙමළ රාජ්‍යයේ ස්වාධිපත්‍ය
පිළිගැනීම, දෙමළ ජනතාවගේ ස්වයංනිර්ණ අයිතිය පිළිගැනීම, උතුරු - නැඟෙනහිර පළාත් සඳහා ෆෙඩරල්
පාලන ක්‍රමයක් ඇති කිරීම, සිංහල බෞද්ධයා උතුරු හා නැඟෙනහිර පළාත්වල පදිංචි කිරීම නැවැත්වීම,
එම පළාත්වල මහවැලි ඉඩම් සිංහලයන්ට ලබාදීම නැවැත්වීම හා දැනට පදිංචි වී සිටින සිංහලයන් ඉවත්
කිරීම දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් අතර වෙයි.

ඕනෑම ආගමකට හෝ කවරම ජනවර්ගයකට හෝ අයත් තැනැත්තකුට ශ්‍රී  ලංකාවේ ඕනෑම ප්‍රදේශයක
පදිංචිවීමට අයිතිය තිබිය යුතුය. ජන වර්ගය හෝ ආගම පදනම් කරගත් කලාප නිර්මාණය කිරීමට කරන
යෝජනා ශ්‍රී  ලංකාව දෙකඩ කොට ඊළාම් රාජ්‍යයක් ඇති කිරීමට දරන උත්සාහයක් බව ඉඳුරා
පැහැදිලිය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේද සහභාගිත්වයෙන් පසුගිය කාලයෙහි
නිර්මාණය කරන ලද රජයේ ව්‍යවස්ථා යෝජනා අඩංගු අතුරු වාර්තාව සහ ඉහත සඳහන් යෝජනා අතර
සහසම්බන්ධතාව දැන් මැනවින් පැහැදිලිය.

ජනතාවගේ ව්‍යවස්ථාවක් ලෙස පවසමින් හැදීමට බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී
 ලංකාව තුළ උපරිම බලය බෙදා හැරීමට ප්‍රතිඥා දෙන ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඒකීය
රාජ්‍ය සංකල්පය බැහැර කොට “නොබෙදුණු හා වෙන් කළ නොහැකි” ශ්‍රී  ලංකාවක් තුළ උපරිම බලය
බෙදාහැරීමක් ගැන අවධාරණය කරන්නේ යෝජිත අතුරු යෝජනාවලිය සක්‍රිය කිරීමට දැයි අප තුළ
සාධාරණ සැකයක් පවතී. එසේම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ශක්තිමත් පදනම් මත
ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යුහය තුළ ශේ‍ර්ෂ්ඨාධිකරණය ද අබිබවා යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
අධිකරණයක් පිහිටුවීමට දරන ප්‍රයත්නය, ස්වකීය අත්තනෝමතික පාලන අභිලාෂයක් ඉටුකර ගැනීම උදෙසා
උපරිමාධිකරණය සතු ශක්තිය බෙලහීන කිරීමක් ලෙස අපි කල්පනා කරමු.

දේශයේ භාරකරුවන් පමණක් වන රාජ්‍ය පාලකයන් විසින් ඉදිරියේදී අලුත් ව්‍යවස්ථාවක් සැකසෙන්නේ නම්,
ඒ තුළ රටවැසියන්ගේ අයිතිවාසිකම් හා ඓතිහාසික උරුමය ආරක්ෂා වීම, විදේශීය ගැති අභිලාෂයන්ට වඩා
ස්වදේශිකයන්ගේ අභිමතයට ගරු කිරීම, භේද භින්නතා නැති සාමකාමී ඒකීය රාජ්‍යයක් තුළ ආර්ථික -
අධ්‍යාපන - සෞඛ්‍ය සංවර්ධනය ඉහළ නැංවීම, දේශයේ සම්පත් ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම
ආදී කරුණු පිළිබඳව විශ්වසනීය තහවුරු බවක් ස්ථාපිත විය යුතු බව අපි අවධාරණය කරමු.

ඒකීය රාජ්‍යයක් තුළ වාසය කරන ශ්‍රී  ලංකාවේ සියලු පුරවැසියනට එකම පොදු නීති පද්ධතියක්
ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රීය පාලනයක අතිශයින්ම සාධනීය ලක්ෂණයක් ලෙස අපි දකිමු. රටේ තිරසර
සමෘද්ධිමත් සංවර්ධනයක් ඇති කිරීම, රටට  හිතකර මිනිස්කම්වලට මුල්තැන දෙන අධ්‍යාපන ක්‍රමයක්
සැකසීම, මතු නොව හා සියලු දේශපාලන අන්තවාදී සංවිධාන නිසා අපමණ දුක්ගැහැට විඳින උතුරු හා
නැඟෙනහිර පළාත්වල වෙසෙන අසරණ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ දුක් පීඩා නැති කරන, සකල
විධ ජනතාවට ශ්‍රී  ලංකා භූමියේ භේද නැතිව, නොවහල්ව, සුහදව, දැහැමිව, සතුටින් වාසය කළ
හැකි සමාජීය - ආර්ථික හා දේශපාලන සමාජ පරිසරයක් නිර්මාණය කර ගැනීමට මෙම ජනාධිපතිවරණයත්,
ඉදිරියේ එන මහ මැතිවරණයත් මාහැඟි අවස්ථාවක් කර ගන්නා ලෙස සමස්ත ශ්‍රී  ලාංකේය මහජනතාව
වෙත ශාසනාලයෙන් නිවේදනය කරමු.

අත්සන් තබා ඇති සාමාජික පිරිස පහත දැක්වේ.

 ශ්‍රී  ලංකා අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස මහ නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ  ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,
දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, (ගරු සභාපති)  තිරිකුණාමලේ ආනන්ද මහ නායක
ස්වාමීන්ද්‍රයන් වහන්සේ (ගරු සම ලේකම්),  මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ
(ගරු සම ලේකම්),  ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,  ආචාර්ය
බළන්ගොඩ සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,  ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේ,  මාතලේ ධම්මකුසල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,  විශ්‍රාමික ජේ‍යෂ්ඨ මහාචාර්ය
කන්දෙගොඩ විමලධම්ම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ,  සීලගම විමල නායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේ,  සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ,  ජගත් සුමතිපාල මහතා -
(සභාපති), සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය,  සුරේන් අභයගුණසේකර මහතා - සම්මානනීය
සාමාජික,  චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා - සම්මානනීය සාමාජික,  එම්.ඩී.ඩබ්. ආරියවංශ මහතා
- සම්මානනීය සාමාජික,  සුමේධ අමරසිංහ මහතා, ගරු සභාපති - ධර්ම විජය පදනම,  කුසුම්බන්ධු
සමරවික්‍රම මහතා - උප සභාපති කොළඹ තරුණ බෞද්ධ සංගමය,  එස්.පී. වීරසේකර මහතා -
සභාපති, පරම විඥානාර්ථ බෞද්ධ සංගමය,  ආචාර්ය ජයන්ත වත්ත විදානෙ මහතා - උප සභාපති -
ශාසන සේවක සමිතිය,  ජීවනී සුගුණදාස මහත්මිය සභාපතිනි  - බෞද්ධ කාන්තා සම්මේලනය,
එම්.කේ.බී. දිසානායක මහතා - සභාපති රාජ්‍ය සේවා බෞද්ධ සංගමය,  ආචාර්ය හේමා ගුණතිලක
මහත්මිය සභාපතිනි - බෞද්ධ සහයෝගිතා කේන්ද්‍රය,  වසන්ත ද සිල්වා මහතා - උප සභාපති,
මහාබෝධි සංගමය,  ආචාර්ය පී.ජී. පුංචිහේවා මහතා - නියෝජිත - ශාන්ති පදනම,  ජනාධිපති
නීතිඥ මනෝහර ද සිල්වා මහතා - නියෝජිත බෞද්ධ නීතිඥ සංගමය,  ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද
අල්විස් මහතා - නියෝජිත ශ්‍රී  ලංකා නීතිඥ සංගමය,  මහාචාර්ය අසංග තිලකරත්න මහතා -
සභාපති දම්රිවි පදනම,  ජනාධිපති නීතිඥ වරුණ බස්නායක මහතා - සභික කළුතර බෝධි භාරකාර
මණ්ඩලය,  විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය - සභාපතිනි ජයග්‍රහණය, කොළඹ,  පානි
වෑවල මහතා - කමිටු සම්බන්ධීකාරක