සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරයකින් තොරව කැබිනට් අනුමැතියක් ලබාගෙන රටින් බැහැරව ගොස් තිබේ.

විදේශගතවීම සඳහා සමෘද්ධි අධ්‍යක්ෂ
ජනරාල්වරයා විසින් අවසර ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත
කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන්, එම කොමිෂන් සභාව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම්
අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් යවමින්, මැතිවරණ කොමිෂන් සභාව විසින් සමෘද්ධි අධ්‍යක්ෂ
ජනරාල්වරයාට විරුද්ධව,
රාජ්‍ය දේපළ අවභාවිතය  පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගැනීම පිණිස පත්වීම්
බලධරයා වන අමාත්‍ය මණ්ඩල ලේකම් හා ජනාධිපති ලේකම් වෙත වාර්තා කර ඇති බැවින් හා මැතිවරණ
විධාන උල්ලංඝනය කිරීම හේතුවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා
පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇති බව දැනුම් දී ඇත.

එබැවින් ඔහු දිවයිනෙන් බැහැරවීම පිළිබඳව ආයතන සංග්‍රහයේ 48 පරිච්ඡේදයේ 34(1) වගන්තිය
ප්‍රකාරව විනය බලධරයාගේ අවසරය ලබාගත යුතු බවද එම ලිපියෙහි සඳහන්ව ඇත.

එම අවසරය ලබාගැනීමෙන් අනතුරුව මැතිවරණ කාලසීමාව තුළ රටින් බැහැරවීමට අවශ්‍ය නිවාඩු
ලබාගැනීම පිළිබඳ ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙසද කොමිෂන් සභාවේ
ලේකම්වරයා විසින් යවා ඇති ලිපියෙහි දැක්වෙයි.

ඉකුත් 30 වැනිදා ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත
යවා ඇති එම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ රාජ්‍ය පරිපාලන, ආපදා
කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත ද යවා තිබියදී සමෘද්ධි අධ්‍යක්ෂ
ජනරාල්වරයා  මෙසේ කැබිනට් අනුමැතියක් ලබාගෙන දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව වාර්තා වේ. 
ජේ.ටී ද සිල්වා