නිවසක මෙහෙකාර සේවයේ යෙදෙමින් රුපියල් හාර ලක්‍ෂ අනූ අට දහසක්‌ (498000) වටිනා රන් භාණ්‌ඩ, ඩොලර් හා මෙරට මුදල් සොරකම් කළ 32 හැවිරිදි කාන්තාවක්‌ මෙම මස 20 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාවලපිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් අමිල ප්‍රසාද් මහතා නියෝග කළේය.


 මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ පුස්‌සැල්ලාව පොලිස්‌ බල ප්‍රදේශයේ කටුකිතුල ග්ලැන්ලොච් වතුයායේ පදිංචි නාගා සෙල්වි නමැති කාන්තාවකි.

 මෙම රන් භාණ්‌ඩ හා මුදල් නොමැති බව නිවෙස්‌ හිමියන් දැන ඒ බව පුස්‌සැල්ලාව පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

 පොලිස්‌ පැමිණිල්ලට අනුව නිවෙස්‌ හිමියන් මෙම භාණ්‌ඩ අවසන් වරට දැක ඇත්තේ සැප්තැම්බර් මස පළමු වැනිදාය. ඉන් පසු අල්මාරියේ තිබූ මෙම භාණ්‌ඩ අතරට ඔක්‌තෝබර් 29 වන දින තවත් රන් වළලු 2 ක්‌ තැබීමට යැමේදී එම භාණ්‌ඩ නොමැති බව දැක තිබේ.

 ඒ අනුව ලැබුණු පොලිස්‌ පැමිණිලි අනුව නිවසේ සේවය කළ මෙම කාන්තාවගේ දින චර්යාව අධ්‍යයනය කිරීමේදී මෙවර දීපවාලි අවුරුද්දට ඇය සිතූ පරිදි වියදම් කර තිබීම පොලිසියේ සැකයට භාජන වී තිබුණි.

 එසේම ඇගේ සැමියා තවලන්තැන්න ප්‍රදේශයේ හා ගම්පොල බැංකුවකට රන් භාණ්‌ඩ කීපයක්‌ උකස්‌ කර තිබීම අනුව ඇය අත්අඩංගුවට ගෙන තිබුණි.

 මෙම කාන්තාව සේවය කළ නිවසේ හිමිකරු තවලන්තැන්න ප්‍රදේශයේ ඇති හනුමන් කෝවිලේ වෙළෙඳසැලක්‌ පවත්වාගෙන යනු ලබන අතර ඔහුගේ මව අසනීප
තත්ත්වයේ නිවසේ සිට ඇත. ඇය බලා ගැනීම හා නිවසේ වැඩට මෙම සැකකාර කාන්තාව යොදවා තිබූ අතර එහිදී කාන්තාව නිවසේ තිබූ දේපොළ මෙසේ සොරා ගෙන ඇත.

 ඒ අනුව කරාබු ජෝඩු 9 ක්‌ පෙන්ඩන් 3 ක්‌ මුදු 6 ක්‌ හා රන්පවුම් කාසි 3 ක්‌ ඇතුළු රුපියල් 360000 ක්‌ වටිනා රන් භාණ්‌ඩද රුපියල් එක්‌ ලක්‍ෂ අටදහසක්‌ වටිනා විදෙස්‌ ඩොලර් 600 ක්‌ ද මෙරට මුදල් රුපියල් 30000 ක්‌ ද මෙසේ සොරාගෙන තිබුණි.

 මෙම භාණ්‌ඩ ස්‌ථාන 4 කට උකස්‌ කර තිබියදී සොයා ගෙන ඇත.

 ගම්පොල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශ්‍රියන්ත පීරිස්‌ පොලිස්‌ අධිකාරී චූලනී වීරරත්න යන අයගේ උපදෙස්‌ මත පුස්‌සැල්ලාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. සරත් බණ්‌ඩාර පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති පො. ප. යාලේගම පො. සැ. වරුන් වන (36748) සිංහතිලක (29973) මාවලගේ පො. කො. (92094) දිනේෂ්, කා. පො. කො. චම්පිකා යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කළහ.

 ගම්පොල - සුරංග දිල්හාන්