‘පට්ට රස පුංචි ඇපල්’ බව පවසමින් පුවරු සවිකර අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක මාර්ගයේ දෙපස
විකිණීමට තබා තිබූ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු විදේශයෙන් ආනයනය කළ ඇපල් කිලෝ සියයකට වැඩි
ප්‍රමාණයක් පෙරේදා (02දා) සවස අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයේ
නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනුරාධපුර, පුල්ලයාර් හන්දිය අසල ඇතුළු නගරයේ ස්ථාන කිහිපයක මෙසේ නරක් වූ ඇපල් වෙළෙදාම්
කරන බවට අනුරාධපුර මහ නගර සභාවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී ප්ලාස්ටික් කූඩවල බහා තිබූ කුඩා ඇපල් (බේබි ඇපල්) කිලෝ සියයකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව
අනුරාධපුර මහ නගර
සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය පවසයි.
වෙළෙඳුන් කොළඹ සිට පැමිණ ප්‍රධාන මාර්ගය අසල තබාගෙන මිනිස් ආහාරයට නුසුදුසු ඇපල්
වෙළෙදාමේ නිරත වන බවට ලැබුණු පැමිණිලි මත අත්අඩංගුවට ගත් ඇපල් ගෙඩි කල් ඉකුත්ව පරිභෝජනයට
කිසිසේත්ම නුසුදුසු තත්ත්වයක තිබූ බවද සෞඛ්‍ය පරීක්ෂක අංශය පවසයි.
මාර්ගය දෙපස ඇපල් වෙළෙදාමට තබා තිබෙන ස්ථානයට මීටර් සියයක් දෙසීයක් පමණ දුරක සිට පුවරු සවිකර ඒවා ‘පට්ට රස පුංචි ඇපල්’ යනුවෙන් සටහන් කර විකිණ­ බවත් රුපියල් සියයට ගෙඩි හය බැගින්
ලබාදීම නිසා ජනතාවද සොයා බැලීමකින් තොරව මිලදී ගෙන තිබෙන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

අත්අඩංගුවට ගත් ඇපල් සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමු කර එහි වාර්තාව ලැබීමෙන් අනතුරුව එම
වෙළෙඳුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති බණ්ඩාර මහතා වැටලීමෙන් අනතුරුව පැවැසීය.
අනුරාධපුර _ මහේෂ් විජේසූරිය