ක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාතිත්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශය දේශපාලන තීන්දු අනුව ක්‍රීඩාවලට මැදිහත් වී තිබෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා,
"අපේ ක්‍රීඩකයන් තරගයක් පාවා දුනු බවට කිසිම වාර්තාවක් අයි.සී.සී. එකේ නැහැ. තරග පාවාදෙනවා කියලා ලංකාවේ කාර්යාලයක් දාන්න කීමෙන් රට දූෂිතයි කියන එක ලෝකයට කියන්න සිදුවුණා. කිසිම තැනක ක්‍රීඩකයෙක් හොරකම් කරලා, නැත්නම් තරගයක් පාවාදුන්නා කියලා අපි විශ්වාස කරන නෑ.

ක්‍රිකට් පාලක මණ්ඩලය දැන් පවත්වාගෙන යන්නේ ක්‍රීඩා
අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. දේශපාලන තීරණ මත නිලධාරීන් ඉවත් කර තිබෙනවා. ඡන්දයෙන් තෝරා පත් කරගත් අයට ටික කාලයක් දීලා බලන් හිටියොත් ක්‍රියාත්මක වේවි.

අවුරුදු 2 ක කාලයක සිට මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්න ගියේ නෑ.

2018 මැයි මාසයේ ඉවත් වුණා. ගිය වර නිලවරණයට ඉදිරිපත් වුණේ නෑ.

මම දේශපාලනයේ යෙදී සිටින අයෙක් නිසයි ඉවත් වුණේ. මම ඡන්දයේදී සහාය දුන් අය දිනුවා. ඡන්දෙන් ප්‍රතිෂ්ප වූ අයට හිතේ අමාරුවක් ඇති. අතීතයේ සිදු වූ සියලු දේවල් කල්පනා කර අපට වර්තමානයේ වැඩ කරන්න බෑ. අලූත් අයට අවස්ථාව දෙන්න ඕනී . පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් චරිත ඝාතන කරන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුවේ මුවාවෙන් ලිපිගොනු ඉදිරිපත් කර තිබුණත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.

මොන නීති රෙගුලාසි ගෙනාවත්, ක්‍රීඩාව දේශපාලනීකරණය වීමෙන් ක්‍රීඩාව බේරගන්න බෑ. අපි පරිපාලනයට ආවට පස්සෙයි දේශපාලනයට ආවේ. කිසිම පරික්ෂණයක වංචාවක් ගැන මට චෝදනා නැහැ. ලංකාවේ හෝ ජාත්‍යන්තර වංචාවකට මගේ නම ගවිලා නැහැ" යනුවෙන් පවසා සිටියේය.

අමිත් මධුරංග