වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා සංකීර්ණය සහිත කළුතර උද්‍යාන ක්‍රීඩා පිටියේ 13 වන දින සවස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමේ ජන රැලියට
එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් කළුතර නගර සභාව ගොනු කළ පෙත්සම කළුතර දිසා විනිසුරු ඔගස්වා අතපත්තු මහත්මිය ඊයේ (07) සවස ප්‍රතික්ෂේප කළාය. කළුතර නගරාධිපති අමීර් හෂීර් මහතා (එජාප) මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි අතර කළුතර නගර සභාව වෙනුවෙන් පෙනී සිටි
නීතිඥයින් කියා සිටියේ මෙම ක්‍රීඩාංගණය භාවිත කළ හැක්කේ ක්‍රීඩා කටයුතු සඳහා පමණක් බවය.

එහෙත් මීට පෙර අවස්ථා ගණනාවකදී මෙම ක්‍රීඩාංගණය දේශපාලන කටයුතු හා වෙනත් කටයුතු සඳහා යොදාගෙන ඇති බවත් කළුතර නගරාධිපතිවරයා ද එම උත්සවවලට සහභාගි වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ එහිදී පැවසූහ. එවැනි වාරණයක් ගැනීමට අවශ්‍ය වී නම් 2009 වසරේ සිට ඒ සඳහා අවස්ථාව තිබූ බවත් එවැන්නක් මේ වනතුරු සිදුවී නැති බවත් අධිකරණයේ දී අනාවරණය විය.

මෙම කරුණු සලකා බැලූ විනිසුරුවරිය ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ රැස්වීමට වාරණ නියෝගයක් ඉල්ලු පෙ‍ත්සම ප්‍රතික්ෂේප කළ අතර එම ක්‍රීඩාංගණයේ ගිවිසුම් සම්බන්ධයෙන් කළුතර නගර සභාව පවරා ඇති නඩුව වැඩිදුර සලකා බැලීම නොවැම්බර් 28ට කල් තැබුවාය. කළුතර නගර සභාව වෙනුවෙන් නීතිඥ කැළුම් ද සොයිසා මහතා ඇතුළු නීතිඥ මහත්වරුන් පෙනී සිටි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තුසිත ගුණවර්ධන සහ පින්සික් පෙරේරා යන නීතිඥ මහත්වරුන් ඇතුළු නිතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

-සුනිල් එස්.තන්ත්‍රිආරච්චි-