ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියගේ අස්සන ව්‍යාජ ලෙස
යොදා ව්‍යාජව සකස් කළ ලිපියක් මවක් සහ පුතකු විසින් පෞද්ගලික බැංකුවකට ලබාදී ණය මුදලක්

ලබාගැනීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් පොලිසිය පවරා ඇති නඩුවකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා
චතුරිකා සිරිසේන මහත්මිය ඊයේ (6දා) කොළඹ කොටුව අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නඩුවේ විභාගය සඳහා සාක්ෂි ලබාදීම සඳහාය.
සිද්ධියට සම්බන්ධ
චූදිත විසින් වරද පිළිගැනීම මත චතුරිකා සිරිසේන මහත්මිය සහ ලිපිය ඉදිරිපත් කර ඇති බැංකුවේ නිලධාරීන්
සාක්ෂිවලින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මුදාහරිනු ලැබිණි. චූදිත
සම්බන්ධයෙන් පෙර වැරැදි වාර්තා කැඳවන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියම කරමින් චූදිතට දඬුවම් නියම
කිරීම සඳහා සිද්ධියට අදාළ නඩුව ලබන මස 4 වැනිදා කැඳවන ලෙසට නියෝග කෙරිණි.

කූට ලේඛන සකස් කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිද්ධියට
සම්බන්ධ වී ඇති කාන්තාව වන චූදිතගේ මව කමනි රේණුකා රාවණාඇල්ල යන අයද ඉකුත් නඩු වාරයේදී
සිද්ධිය සම්බන්ධයේ වරද පිළිගත් අතර චූදිත වන නොෂිත විමුක්ති කාරියවසම් යන අයද ඊයේ (6දා) දින
වරද පිළිගැනිණි.

චතුරිකා සිරිසේන මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සීවලී අමිතිරිගල, නීතිඥ සජිත ජයවර්ධන, නීතිඥ අසේල රැකව යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියේය. 
අමිල අබේරත්න