ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවට එහි වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත.

පක්ෂ තීන්දුවට පිටින් ගොස් ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය දීම සඳහා ගිවිසුමකට අත්සන් කිරීම සහ සුගතදාස කී‍්‍රඩාංගණයේ සමුළුවක් පැවැත්වීමටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කිරීම පදනම් කර ගනිමින් පෙරේදා (5 දා) පැවැත්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත්
ඒකමතික තීන්දුවක් මත මෙම තීරණය ගත් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාපැවසීය.

ඊට අමතරව එම සමුළුව සඳහා රත්නපුර සහ ගාල්ල දිස්ති‍්‍රක්කවල සංවිධායකවරුන් කිහිප දෙනකු සහභාගි වී ඇති බවත් එම ධුරවලට ද තාවකාලිකව වැඩ බැලීම සඳහා නව සංවිධායකවරුන් දිස්ති‍්‍රක් බල මණ්ඩලය හරහා තෝරා පත් කර ගැනීමේ බලය එම දිස්ති‍්‍රක්කවල නායකයන්ට පැවරූ බවත් වැඩබලන සභාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කර ගෙන යෑම සඳහා මෙසේ වැඩබලන ආසන සංවිධායකවරුන් පත් කළ බවත් මැතිවරණය අවසන් වූ පසු සමුළුවලට සහභාගි වූ අයට විනය පරීක්ෂණ පවත්වා සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව රැුස් කර අවසන් තීන්දුවක් ගන්නා බවත් වැඩබලන සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත