ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුවන දිනයේදී
කලබල ඇති වෙතැයි අනුමාන කළ හැකි ඡන්ද මධ්‍යස්ථාන ආශි‍්‍රත ප‍්‍රදේශ ඇත්නම් ඊට ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ඊයේ (06 දා) දැනුම් දී ඇත.

එම නියෝජිතයන් කොමිසමේ නිලධාරීන්
ඊයේ (6 දා) හමුවූ අවස්ථාවේදී මේ බව දැනුම්දී තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන ආශි‍්‍රතව ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදවීමට මේ වනවිට පොලිසිය සැලසුම් කර ඇති බව ද ඊට අමතරව වැඩි අවධානයක් යොමු විය යුතු ප‍්‍රදේශ ඇත්නම් ඒ බව කලින් දැනුම් දෙන ලෙස ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී සඳහන් කර ඇත.

පොලිසිය හා විශේෂ කාර්ය බළකාය ඡුන්ද මධ්‍යස්ථාන ආශි‍්‍රතව වෙන වෙනම ජංගම මුර සේවා පවත්වන බව ද ඊට අමතරව පොලිසිය හා විශේෂ කාර්ය බළකාය එක්ව එකට ජංගම මුර සේවා පවත්වන බව ද එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පක්‍ෂ ලේකම්වරුන් දැනුවත් කර තිබේ.

ආරක්ෂාව වැඩි කළ යුතු ප‍්‍රදේශ පිළිබඳව පොලිසිය අවධානය යොමු කර ඇති බව ද ඒ සඳහා ද විශේෂිත ආරක්ෂිත වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ද පොලිස් නිලධාරීන් සඳහන් කර ඇත.

රනිල් ධර්මසේන