ගබ්සා සිදුකරන බවට කාන්තාවන් රවටා රුපියල් ලක්ෂ ගණනක් වංචා කළ වෛද්‍යවරයකු ලෙසට පෙනී සිටි අධිවේගී මාර්ගයේ මුදල් අයකැමියකු සහ
ඔහු මෙහෙය වූ බව කියන තරුණයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. ගබ්සාවන් සිදුකරන බවට මුහුණු පොත හරහා දැනුම්වත් කර විවිධ ස්ථානවලදී මෙම ක්‍රියාව සිදුකර ඇති බවට මූලික  පරීක්ෂණවලින් හෙළි වූ බව ද පොලිසිය පවසයි. වෛද්‍යවරයා ලෙස පෙනී සිටි සැකකරු මෙම ක්‍රියාවට බලහත්කාරයෙන්  යොදවාගෙන ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව ද  පොලිසිය සඳහන් කරයි.

ඔහු අධිවේගී මාර්ගයේ මුදල් අයකැමියකු ලෙස සේවය කරන බවද අනාවරණය වී ඇත. කිසියම් හේතුවක් නිසා දඩුවම් මාරුවක් ලෙස
ඔහු වෙනත් හුවමාරු මධ්‍යස්ථානයකට මාරුවක් ලද  පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.සැකකරුවන් සමග සිරින්ජර් දෙකක්, කතුරු දෙකක්, රන්මාලයක්, මුදුවක් රුපියල්‍ 60,000ක් සහ වෑන් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ගබ්සා කිරිමේ ජාවාරමේ වෛද්‍යවරයා බවට පෙනී සිටි අධිවේගී මර්ගයේ මුදල් අයකැමියා පොලිසියට කර තිබූ පැමිණිල්ලකින් පසු මේ ජාවාරමේ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. තමන් හඳුනන පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන ගොස් පහරදි තමන් සතු මුදල් රන් ආභරණ ද පැහැරගත් බව කියමින් මුදල් අයකැමියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය මෙම සිද්ධියේ තොරතුරු ද අනාවරණය කරගෙන තිබේ.

මුදල් අයකැමියාගේ මාරුව නැවත සකසා දෙන පොරොන්දුව මත සැකකරුවන් හා හිතවත් වී ඇති මුදල් අයකැමියා
ඔවුන්ගේ ඉල්ලීම මත තරුණියක සමග සිටින අයුරු විඩියෝ ගතකර පසුව එම විඩියෝව අන්තර්ජාලය මුදාහරින බවත් එහි පිටපතක් බිරියට ද ලබාදෙන බවටත් තර්ජනය කර තමා මෙම හොර ගබ්සා ජාවාරමට යොදා ගත් බව ද මුදල් අයකැමියා පොලීසියට කියා ඇත.

මුහුණු පොත හරහා ගබ්සාවක් සිදුකරගැනීමේ අරමුණින් එන තරුණියන් ලැගුම්හල් වෙත රැගෙන ගොස් සිහිනැති වීමට කිසියම් මත්ද්‍රව්‍ය බොන්නට දී අනතුරුව කාත්නාවන්ගේ රහස් පෙදසට කිසියම් පාට දියරයක් යොදා ගබ්සා කළ බවට රවටා ඇති බවද පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සීසර් රැකියාවේ නිරත වන බවත් ඔවුන් හොරණ, එගොඩවත්ත, ඉංගිරිය හා මුන්ගම පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි. වංචා ක්‍රියාවක් සැඟවිමේ චෝදනාව යටතේ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-