සජිත් ජනාධිපති වූ පසු අගමැතිකම උඩරටට අවශ්‍ය බව පැහැදිලිව ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත  අමාත්‍යය නවීන් දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ, ජනාධිපති අපේක්ෂක සජිත්
ප්‍රේමදාස මහතා දිනවීම සඳහා පොත්තපිටිය බස් නැවතුම්පොළ අසල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සංවිධානය කර තිබූ
ජනහමුව අමතමිනි. උඩරට ජනතාව ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට විජයග්‍රාහී ජයග්‍රහණයක් ලබාදී මැතිවරණයෙන් ජයග්‍රහණය කරනවා නමි, අගමැතිකම උඩරට පුද්ගලයෙකුට අනිවාර්යයෙන්ම ලැබීය යුතු වන නමුත්, ඒ තමාට අවශ්‍ය බව නොපවසන බවත්, ඒ කවුරුන් වුවත් අගමැතිකම උඩරට අවශ්‍ය බවද නවීන් දිසානායක අවධාරණය කළේය. එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රේෂ්ඨ නායකයන් 07 දෙනෙකු බිහිකළ පක්‍ෂයක් බවත්,
අවශ්‍ය
ව‍ෙලාවට අවශ්‍ය කාලයට ඒ දේශපාලන වාතාවරණය අනුව අපගේ නායකයන් ඉදිරිපත් කරද්දි වාමාංශික කියාගන්නා දේශපාලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, පොදුජන පෙරමුණත් පවුල් දෙකකට පමණක් සීමා වී ඇති බවත්, ඒ බණ්ඩාරනායක පවුල හා රාජපක්‍ෂ පවුල බවත් ඒ මහතා පවසා සිටියේය.
එහිදී අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා,
"අපේ තාත්තලව ඝාතනය කළාට පස්සේ අපට සාටක පලදින්නත් ඔටුනු පලඳන්නත් අපේ තාත්තලා හිටියෙ නෑ. අපට සාටක පැලඳුවෙ ඔටුනු පැලඳුව මේ මහජනතාවයි. මයන්ත දිසානායක මගේ මල්ලි මන්ත්‍රීකමින් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා, ගාමිණීගේ පුතාගේ අත්ද‍ෙක පවිත්‍රයි. හොරකම් කරලා නෑ. ඒ නිසා අපි හිතනවා අපි දෙන්නටම මේ ගේම් එක ගහන්න පුළුවන් කියලා. අපේ පක්‍ෂයේ සහෝදර සමාගම් නෑ,
අපි ද‍ෙන්නා ගාමිණිගේ පුතාල වුණාට අපි මහන්සියෙන් වැඩ කරලා තමයි මේ තනතුරුවලට ආවේ. සජිත් ප්‍රේමදාස මහත්තයා අවුරුදු 20 ක් දේශපාලනය කරලා තියනවා. එතුමාත් පටන් ගත්තෙ පුංචිම තැනින්. මේවා ගත්තේ අපි සටන් කරලා. මගේ තාත්ත මට කිවිවා පුතේ කිසිදෙයක් නිකං ලැබෙන්නේ නම් නෑ, සටන් කරලා ගන්න ඕන කියලා. ඒ නිසා මයන්ත දිසානායකත් මමත් ඉදිරියේදී ලැබීය යුතු දේ සටන් කර ලබාගන්නවා" යනුවෙන් පවසා සිටියේය.  මේ අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, අමාත්‍ය ලකී ජයවර්ධන, ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
  -චමිල් රූපසිංහ -