කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන මගීන් වෙනුවෙන් එහි පිටවීම් ‍දොරටුවේ සිට බස් සේවයක්  වහාම ආරම්භ කරන ලෙස  ගුවන් තොටුපොළ බලධාරීන්ට සංචාරක හා
ගුවන් සේවා, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (28දා)
සවස උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ගුවන්තොටුපොළ සංකීර්ණයේ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරමින් නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින් මේ බව පැවැසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇත්තේ වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 6ක්
මෙහෙයවීමේ
පහසුකම් පමණක් වුවද මේ වන විට එය මිලියන 12 දක්වා ඉහළ ගොස් ඇති බව පැවැසූ
අමාත්‍යවරයා ඊට ගැළපෙන සේ සංවර්ධන පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළද
දේශපාලන බලපෑම් හා වෙනත් විවිධ බලපෑම් මත එම ව්‍යාපෘති මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි
වී ඇති බවද සඳහන් කළේය.
එම ව්‍යාපෘති පියවර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද ඒවා මෙතෙක් ඉටු නොවී ඇති බව
පැවැසූ ඇමැතිවරයා කඩිනමින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ගුවන්තොටුපොළ
බලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආණ්ඩුවක් මාරුවූ පමණින් සංවර්ධන කටයුතු අඩපණ කිරීමට හෝ ක්‍රියාත්මක නොකිරීමට නිලධාරීන්ට හැකියාවක් නැතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා මේ පිළිබඳව ඉදිරියේදී ගන්නා පියවර ගැන සවිස්තර වාර්තාවක් තමාට කඩිනමින් ලබාදෙන ලෙස උපදෙස් දුන්නේය.
පසුගිය මැතිවරණ කාලය තුළ අවිධිමත්ව සේවයට බඳවාගත් අය පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා පැවැසීය.
පසුගිය ආණ්ඩුව මත්තල ගුවන් තොටුපොළෙහි වී ගබඩා කළද, තමා පලාලි ගුවන් තොටුපොළේ මිරිස් ගබඩා නොකරන බවත් එය තවදුරටත් දියුණු කර උතුරේ ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට පියවර ගන්නා බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

උපතිස්ස පෙරේරා