අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් දඩයමක් කොහෙත්ම සිදුවන්නේ නැතැයි ද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රටින් පැන්නේ තමන් කළ වැරදි වල තරම දන්න නිසා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (28) පැවසූහ.

රතන හිමියන් මෙසේ පැවසුවේ ආණ්ඩුව රහස් පොලිස් නිලධාරීන් දඩයම් කරන බැව් නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දරණ අදහස් කුමක්දැයි රාජගිරියේ පිහිටි සදහම් සෙවන ආරාමයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

උන්වහන්සේ මෙසේද පැවසූහ.
ලංකා ඉතිහාසයේ මැතිවරණවලදි හැමදාම අප්‍රකට රහසිගත ගිවිසුම් ඇතිවුණේ සුලු ජාතීන් නැතිව අප දිනන්න බැහැ කියන විශ්වාසය නිසයි. ඒත් අපි ඒක මෙවර බොරු කළා. දැන් අපි හිතන්න ඕන දෙමළ හා මුස්ලිම් ජනතා දිනාගන්නේ කොහොමද කියලයි. මුස්ලිම් ජනතාව
ජාතිවාදීව හැසිරෙන්න බලපෑවේ කුමන කාරණාද කියලා අපි කල්පනා කර බැලිය යුතුයි.

මෙවර ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරු නැගෙනහිර ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව ඡන්දේ දුන්නේ ඉතාමත් අඩුවෙන්. එය සියයට 5ක් පමණ ප්‍රමානයක්. ඒත් සිංහල ජනතාවගෙන් අති බහුතරය එතුමාට ඡන්දය දුන්නා. භික්ෂූන් වහන්සේලා ජාතිය එක පෙරමුණයකට ගෙන එන්න විශාල කාර්යභාරයක් ඉටුකළා.

එජාපයේ පරාජයට හේතූව රනිල් වික්‍රමසිංහ මහතාගේ කතා විලාසය හෝ හිනාවෙන ආකාරය හෝ නෙවෙයි. ඔවුන් අත්සන් කරපු හා කරන්නට සිය එම්.සී.සී ගිවිසුම, සෝෆා, ඇක්සා වැනි දේශද්‍රෝහී ගිවිසුම් නිසයි ඔවුන් පැරඳුණේ. එජාපයේ බල අධිකාරියට යටවෙලා එදා මේ සිවිසුම් ගැන කතා නොකළ අයටත් දැන් මේවා ගැන කතා කරන්න පුළුවන්. මේවා ගැන හොඳ සාකච්ඡාවක් සංවාදයක් ඇති කරගත යුතුයි. දැන් රට යන්නේ කොතැනටද කියලා විමසිල්ලෙන් සිටිය යුතුයි. පක්ෂ පාට බේද අමතක කර රට තමයි ප්‍රමුඛ කියලා කල්පනා කර රට වෙනුවෙන් පෙරට එන ලෙස අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

රටට එක් නීතියක් ඇති කිරීම සඳහා අපි පනත් කෙටුම්පත් තුනක් ඉදිරිපත් කර තිබෙනවා. 1907 අංක 19 දරණ විවාහ ආඥාපනත සංශෝධිනය කිරීම, මුස්ලිම් විවාහ භා දික්කයාද ආඥා පනත සංශෝධනය කිරීම, විවාහ හා දික්කසාද උඩරට ආඥාපනත සංශෝධනය කිරීම සඳහා එම පනත් කෙටුම්පත් අප ඉදිරිපත් කර තිබෙන්නේ. මේවා ඉක්මනින්ම ක්‍රියාවට නැගෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මනාප ක්‍රමය අහෝසි කර දිනන පක්ෂයට බහුතරය නියෝජනය වන පරිදි මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන අදහසකත් අපි ඉන්නවා, නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙනුත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීවි කියලා අපි විස්වාස කරනවා.

ජනාධිපතිතුමාගේ දිවුරුම් දීම් උළලේදී කළ කතාව ගැන අපි සතුටු වෙනවා. මානවවාදීව භා රට සංවර්ධනය කළ හැකි නවීන තාක්ෂණය සමග ඉදිරියට යන සංවර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇතැයිද අපි විශ්වාස කරනවා.

රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස. සිංහල රාවය සංවිධානයේ මහලේකම් අක්මීමන දයාරත්න, මැසිල්ලේ පඤ්ඤාලෝක. ලියන්වල සාසනරතන යන හිමිවරුද එහිදි අදහස් දැක්වූහ.

මුදිතා දයානන්ද