කිලෝග‍්‍රෑම් 12.5 ප‍්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000කට වැඩි ප‍්‍රමාණයක් ඊයේ (06 දා) සිට ලබන  14 වැනිදා දක්වා දිනපතා ගෑස් අලෙවිසල් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ගෑස් සිලින්ඩර එක් දිනකට 80,000 ක් ද ඉන් පසුව එම සංඛ්‍යාව දිනපතා ක‍්‍රමානුකූලව වැඩිකිරීමට ද  බලාපොරොත්තු වන බව එම සමාගම පවසයි.

ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,600ක් රැුගත් නැවක් ඊයේ (06 දා) ශ‍්‍රී ලංකාවට ළඟා වූ බවත් එවැනි ප‍්‍රමාණයේ තවත් ගෑස් සිලින්ඩර රැගත් නැවක් අද

(07 දා) පැමිණෙන බවද ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි වෙළඳ හා ආයතනික සම්බන්ධතා නිලධාරි ජනක පතිරත්න මහතා පැවසීය.

ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,800ක් රැුගත් නැවක් ලබන  9 වැනිදාත් මෙටි‍්‍රක් ටොන් 2500ක් රැුගත් නැවක් ලබන  12 වැනිදාත් ශ‍්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව ඇතැයි ද පතිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ලාෆ් ගෑස් සමාගමද ගෑස් බෙදාහැරීමේ කටයුතු ඊයේ (06 දා) සිට සුපුරුදු පරිදි ආරම්භ කළ බවත් ඉදිරියේදී හි`ගයකින් තොරව ගෑස් බෙදා හැරීම සිදු කරන බවත් එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේය.

මේ අතර පවතින තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් වෙළෙඳපළේ ගෑස් හිඟයක් මැවීමට හෝ වැඩි මිලට ගෑස් අලෙවි කිරීමට උත්සාහ කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

කෙසේ වෙතත් පවතින ගෑස් හිඟය නිසා ඊයේත් රට පුරා පාරිභෝගික ජනතාව මහත් අපහසුතාවයට ලක්ව සිටියහ.

සුජීව තත්සර සහ ලසිත දුමින්ද